නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

තහනම් ක්‍රම සහ තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 11 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (1) සමත් විය. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් කිමිදුම් ක්‍රම සහ උපකරණ භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක් ඔක්සිජන් සිලින්ඩර් 21 ක්, පාවරල් යුගල් 11 ක්, සහ GPS යන්ත්‍රයක් ද අත්අංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් චෙඩ්ඩිපලයම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක් සහ තහනම් දැල් 2 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම ධීවරයින් හා උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මඩකළපුව ධීවර අධ්‍යක්ෂක කාර්යයාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.