ඉංජිනේරු අංශයෙන් සරසවි වරම් ලද සිසුවෙකු හට නාවික හමුදාධිපතිතුමන් අතින් තිළිණ ප්‍රදානය කෙරේ
 

2015 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වී ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා සුදුසුකම් ලද එච්පීඑම් ප්‍රභාත් සිසුවා වෙත නවීනතම ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් පිරිනැමීම අද (6) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරුණි. එම සිසුවා මහියංගණය බ/ ඔරුබැදි වැව මහ විදුහලේ අධ්‍යාපනය හදාරන ලද අතර, තම පියාගේ වකුගඩු දෙකම අක්‍රියව පැවතීම හේතුවෙන්, මෙලෙස එම සිසුවා වෙත උපකාර කිරීම සඳහා නාවික හමුදාධිපතිතුමන්ගේ විශේෂ අවධානය යොමු වන ලදී.

නාවික හමුදාධිපතිතුමන්ගේ උදාරතර සංකල්පයක් මත ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත ‍වෙමින් පවතින වකගුඩු උවදුරෙන් ජනතාව බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැත ජල පෙරණ යන්ත්‍ර මගින් පිරිසිදු ජලය ලබා දීමට එම යන්ත්‍ර 21 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේ වන විටත් කටයුතු කර ඇත.

වකුගඩු රෝගයෙන් මහජනතාව බේරා ගැනීමට සමගාමීව ඔවුන්ගේ දුවා දරුවන් අනාගතයේ රට කරවන පුද්ගලයන් බවට පත් කිරීම උදෙසා එම දරුවන්ට අධ්‍යාපන/උසස් අධ්‍යාපන කටයුතු වලට අත්වැලක් වීමේ මූලික පියවර ලෙස මෙම පරිගණක යන්ත්‍රය සහ මුද්‍රණ යන්ත්‍රය එච්පීඑම් ප්‍රභාත් සිසුවා හට පරිත්‍යාග කරන ලදී.