ව්‍යාජ ලිපි ලේඛණ සැකසූ පුද්ගලයන් 2 දෙදෙනෙකු අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අයත් ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ බුද්ධි අංශය වෙත ලැබුනු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ගාල්ල පොලීසිය සමග සම්බන්ධීකරණය වී ගාල්ල ප්‍රදීපාගාරය අසළ පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛණ සකස් කිරීමේ ස්ථානයක් වටලන ලදී.

පසුගිය 7 වන දින සිදු කරන ලද මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 2 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. එහිදී, ව්‍යාජ නිල මුද්‍රා 141 ක්, ව්‍යාජ ලෙස සකස් කරමින් තිබූ වාහන බලපත්‍රයක්, විවාහ සහතික 2 ක්, විභාග ප්‍රථිපල ලේඛණයක්, ඉඩම් පිඹුරුපත් 3 ක් , සම්පූර්ණ නොකරන ලද ජාතික හැදුනුම්පතක්, උප්පැන්න සහතික 31 ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා සකස් කරන ලද පාසල් අයැදුම්පත් 7 ක්, රජයේ ලිපි 7 ක් සහ දිවුරුම් ප්‍රකාශ 5 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ ව්‍යාජ ලිපි ලේඛණ සමබන්ධ වැඩිදුර පරීක්ෂණ ගාල්ල පොලීසිය විසින් සිදු කරමින් පවතී.