“මතින් නිදහස් රටක්” යන තේමාව යටතේ යාපනයේ පැවැති උත්සවයට නාවික හමුදාධිපති එක් වෙයි
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගනයේ අද (9) පැවැත්වූ “මතින් නිදහස් රටක්” යන තේමාව පෙරදැරිකර ගත් වැඩසටහන සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ද සහභාගී විය.

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ම‍තින් තොර රටක් බිහිකිරීමේ උදාරතර අරමුණ පෙරදැරි කර ගනිමින් අනාගත දරු පරපුර මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර දරු පිරිසක් බවට පත් කිරීම මෙම ක්‍රියාදාමයේ මූලික අරමුණු අතර වේ. මෙහිදී උතුරු පළාතට මුහුදු මගින් රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය සහ ඒවා ප්‍රවාහනය වැනි නීති විරෝධී ක්‍රියාවන් මර්ධන කිරීමට කැපවී කටයුතු කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් සිදු කරන ලද සේවය අගය කරනුවස් උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමා හට සහ උතුරු නාවික ප්‍රදේශයේ මාණ්ඩලික බුද්ධි නිලධාරී හට අතිගරු ජනාධිපතිතුමන් අතින් සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු විය. මෙම උත්සවය, ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ගේ විචිත්‍රවත් අංග වලින් වර්ණවත් විය. මේ සඳහා ආගම් නියෝජනය කරමින් ගරුතර මහා සංඝරත්නය ඇතුළු පූජකතුමන්, අමාත්‍යවරුන්, ප්‍රභූ පුද්ගලයන්, ආරක්ෂක ලේකම්තුමන්, යුධහමුදාධිපතිතුමන්, ගුවන් හමුදාධිපතිතුමන්, පොලිස්පතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. තවද, උතුරු ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් දරු දැරියන්, දෙමාපියන් සහ සිවිල් ජනතාව විශාල පිරිසක් ද එම උත්සව අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.