ඔයාමඩුව, මහා කාශ්‍යප විද්‍යාලයේ සිසු දරු දැරියන්හට පාවහන් පරිත්‍යාග කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අදහසකට අනුව ඔයාමඩුව මහා කාශ්‍යප විද්‍යාලයේ 1 වසරේ සිට 5 වසර දක්වා ඉගනුම ලබන දරු දැරියන් හට පාවහන් ප්‍රදානය කිරීමේ දෙවන අදියර ඊ‍යේ (19) දින සිදු කෙරිණි.

උතුරුමැද නාවික විධානයට අයත් ඔයාමඩුව නාවික අනුඛණ්ඩයේ පිහිටි ජ්‍යෙෂ්ඨ නාවික නිවාඩු නිකේතනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපතිතුමා පසුගිය ජුනි මස 15 වන දින එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී එතුමන් ගමන් ගත් හෙලිකොප්ටර් යානය ඔයාමඩුව මහා කාශ්‍යප විද්‍යාලීය ක්‍රීඩාංගනයට ගොඩබස්වා ඇත. එහිදී එම විද්‍යාලයේ ඉගනුම ලබන සිසු දරු දැරියන්හට නාවික හමුදාධිපතිතුමා සමග සමූහ ඡායාරූපයකට පෙනී සීටීමට අවස්ථාව උදාවිය. එම අවස්ථාවේදී, සමහර දරු දැරියන් පා වහන් නොමැතිව පාසලට පැමිණෙන බව නීරීක්ෂණය කළ නාවික හමුදාධිපතිතුමා ඔවුන් හට පාවහන් ලබා දීමට අදිටන් කර ඇති අතර, එහි ප්‍රථිපලයක් වශයෙන් ඔවුන් සියළුදෙනා හට පා වහන් යුගලක් සහ මේස් යුගලක් පරිත්‍යාග කිරීම මෙසේ සිදු කෙරිණි. එහි පළමු අදියර පසුගිය ජුනි මස 28 වන සිදු කෙරුණු අතර, එහි දෙවන පියවර ඊයේ (19) නිමාවට පත් විය.

මෙවැනි ප්‍රදේශයක විවිධ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යනු ලබන සිසු දරුදැරියන් වෙනුවෙන් මෙවන් පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මහා කාශ්‍යප විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ගුරුභවතුන් මෙන්ම දෙමාපියන් නාවික හමුදාධිපතිතුමාට සහ සමස්ථ නාවික හමුදාවට සිය හෘදයාංගම ස්තුතිය පුද කළ අතර, නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර සේවාවන්හි තවත් උතුම් අවස්ථාවක් වූ මේ සඳහා තම පෞද්ගලික ධනය ලබා දීමෙන් සහ නන් අයුරින් සහයෝගය ලබා දුන් නිලධාරීන් මෙන්ම නාවිකයන් හට නාවික හමුදාධිපතිතුමා විසින් සිය ප්‍රශංසාව පිරිනැමීමට ද කටයුතු කරන ලදී.