ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණයට නාවික හමුදාධිපතිතුමා සහභාගී වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්පෝට් රෝඩ් දූපතේ පිහිටි නාවික යුද විද්‍යාලයේදී 22 වන ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණය ඊයේ (21) ආරම්භ වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.

ශක්තිමත් සාගරික හවුල්කාරීත්වයක් යන්න තේමා කරගනිමින් මෙවර පැවැත්වෙන සම්මන්ත්‍රණය මගින් ජාත්‍යන්තර වශයෙන් නාවික හමුදාවන් සහ වෙරළාරක්ෂක බලකායන් අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. ලෝකයේ රටවල් 110 ක නාවික හමුදා ප්‍රධානීන් රැස්වී ඔවුන්ගේ අත්දැකීම් මත පදනම් වූ අදහස් හුවමාරු කර ගනිමින් රටවල් අතර ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් සහයෝගීත්වයක් ඇති කර ගැනීමේ අරමුණින් යුතුව සංවිධානය කරන ලද ඉතා උසස් සම්මන්ත්‍රණයක් ලෙස මෙය සඳහන් කළ හැක.

මෙහිදී, ජාත්‍යන්තර වශයෙන් උද්ගත වී ඇති සාගරික ගැටළු පිළිබදව සහ ඒවා නිරාකරණය කර ගැනීමේ උපක්‍රම මෙන්ම නිදහස් හා විවෘත මුහුදු මාර්ගයන්ගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කරනු ලබයි. ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා සහ නාවික හමුදාධිපතිතුමාගේ පුද්ගලික ලේකම් සහ අධි සහයක, කපිතාන් බුද්ධික ලියනගමගේ මහතා ද මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටි අතර, සැප්තැම්බර් මස 23 වන දින මෙම ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණය අවසන් කිරීමට නියමිතව ඇත.

ඊයේ (21) පැවැත්වූ සම්මන්ත්‍රණයෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා, බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාධිපති, අද්මිරාල් පිලිප් ජෝන් මහතා, ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් සුනිල් ලන්බා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, පාකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් මුහම්මද් ෂකාඋල්ලාහ් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන නෞකා බලඇණි අණදෙන නිලධාරී, වයිස් අද්මිරාල් කෙවින් ඩොනේගන් මහතා ද හමුවිය. එහිදී නාවික හමුදාධිපතුමන් ඔවුන් සමග ද්විපාර්ෂවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක නිරත වූ අතර, එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කෙරිණි.

 

 

 

 

 

 

 

 

 

 

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාධිපති, අද්මිරාල් පිලිප් ජෝන් මහතා හමුවීම

 

 

 

 

 

ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් සුනිල් ලන්බා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, හමුවීම

 

 

 

 

 

පාකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් මුහම්මද් ෂකාඋල්ලාහ් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් හමුවීම

 

 

 

 

 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන නෞකා බලඇණි අණදෙන නිලධාරී, වයිස් අද්මිරාල් කෙවින් ඩොනේගන් මහතා හමුවීම