නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 19 දෙනෙකු ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (22) නාවික හමුදාව සමත්විය. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් මුලතිව් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කොක්කුතුඩුවායි ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ‍ලෙස ධීවර කටයුතු වල නිරත පුද්ගලයන් 6 දෙනෙකු, ඒ සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් කටයුතු සඳහා භාවිතා කරන මුහුණු ආවරණයක් සහ තහනම් දැලක් සමග අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද නිලාවේලි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පරවි දූපත ආසන්නයේ නීති විරෝධී කටයුතුවල නිරතවූ ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රවක්, කිමිදුම් කටයුතුවලට යොදාගන්නා පා වරල් යුගලක් සහ මුහුණු ආවරණයක් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය වනජීවි කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එදිනම, උතුරුමැද නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පුල්ලුපිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රවන් 3 ක් සහ තහනම් දැල් 3 ක් අත්අඩංගුවට පත්විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.