නාවික හමුදාධිපතිතුමන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිශා බිස්වාල් මහත්මිය හමු වේ
 

මේ දිනවල ඇමෙරිකාවේ නිල සංචාරයක යෙදී සිටින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර ලේකම් නිශා බිස්වාල් මහත්මිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී ඊයේ (27) හමු විය. එම හමුවේදී අනෝන්‍ය වශයෙන් වැදගත් කරණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.

අනතුරුව නාවික හමුදාධිපතිතුමන්, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් මන්ප්‍රීට් ආනන්ද් මහතා සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම්, තානාපති විලියම් ටොඩ් මහතා ද හමුවිය.

එම සාකච්ඡා වලින් පසු නාවික හමුදාධිපතිතුමන් එක්සත් ජනපද වෙරළ ආරක්ෂක බලකායේ අත්පත් කර ගැනීම් පිළිබඳ නියෝජ්‍ය ආඥාපති (Assistant Commandant for Acquisition) සහ ප්‍රධාන අත්පත් කර ගැනීමේ නිලධාරී (Chief Acquisition Officer) ලෙස කටයුතු කරන රියර් අද්මිරාල් ජෝසප් වෝවෝඩිච් මහතාද හමුවූ අතර ඔවුන් වොෂින්ටන් හි පිහිටි වෙරළ ආරක්ෂක බලකා මූලස්ථානයේදී ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා පවත් වන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා, එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක මහතා, නාවික හමුදාධිපතිතුමාගේ පුද්ගලික ලේකම් සහ අධි සහයක, කපිතාන් බුද්ධික ලියනගමගේ මහතා සහ ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක, ලුතිනන් ජේකොබ් ඉංග්ලිෂ් මහතා ද මෙම අවස්ථාවන් සඳහා සහභාගී විය.