නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයෙකු සහ තහනම් දැල් තොගයක් අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අයත් තංගල්ල හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී, නාකුලුගමුව ප්‍රදේශයේදී නීති විරෝධී තහනම් දැල් සමග පුද්ගලයෙකු ඊයේ (29) අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී තහනම් දැල් 3 ක් අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයා සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද එදිනම, නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මඩකලපුව, කලපු ප්‍රදේශයේදී කුඩා යාත්‍රාවක් සහ තහනම් දැල් 3ක් අත්අඩංගුවට ගන්නා ලදි. එහි සිටි ධීවරයන් පලාගොස් ඇති අතර, අත්අඩංගුවට පත් භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩකළපුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට පියවර ගෙන ඇත.