නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (3) සමත් විය. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 3 ක් සහ තහනම් දැලක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා මුලතිව් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, එම නාවික විධානයටම අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කන්නන්කුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් තහනම් දැලක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම ධීවරයා සහ උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මඩකළපුව ධීවර අධ්‍යක්ෂක කාර්යයාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.