වසර 34ක සේවය නිමා කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් එරික් ජයකොඩි සහ ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර යන ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් දෙදෙනා සිය 34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් අද (6) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් හට සිය සුභාසිංශන එක් කිරීමෙන් අනතුරුව නාවික හමුදා සම්මාන ආචාරයකින් එම නිලධාරීන් දෙදෙනා වෙත ආචාර දැක්විය.

ඉන්පසු සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා පා ගමනින් යමින් සහෘද නිලධාරීන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට සමුදෙනු ලැබිණි. මාර්ගය දෙපස රැදී සිටි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින්ද එහිදී එම නිලධාරීන්හට සිය උත්තමාචාර පුද කරන ලදී. රියර් අද්මිරාල් ජයකොඩි සහ රියර් අද්මිරාල් නානායක්කාර යන මහත්වරුන් දෙදෙනා 1982 වසරේ දී 11 වන ශිෂ්‍යභට නිලධාරී බදවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා විවිධ නිලතල දරමින් ආයතන සහ නෞකා රාශියක සේවය කර ඇති අතර, සිය සේවා කාලය අතරතුර දෙස් විදෙස් පාඨමාලාවන් හැදෑරීමෙන් ලද දැනුම උපයෝගී කර ගනිමින් නාවික හමුදාවට විශිෂ්ඨ සේවයක් ඉටු කිරීමට සමත්ව ඇත. පරිනත මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු වශයෙන් එතුමන්ලා ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සිය මාතෘ භූමියටත් සිදු කර ඇති අනගිභවනීය සේවය නාවික හමුදා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් ලෙස සටහන් වනු ඇත.

 

 

 

 

 

 

 

 

 













රියර් අද්මිරාල් එරික් ජයකොඩි මහතා විශ්‍රාම ගැනීම

 

 

 

 

 






























රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර මහතා විශ්‍රාම ගැනීම