ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇරෝ යාත්‍රා “සෙඩ්රික්” ලෙස නම් කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශේෂ යාත්‍රා බලඝණයේ සම නිර්මාතෘ වශයෙන් නාවික ඉතිහාසයට එක්ව සිටින දිවංගත කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් එන්වීඑක්ස් 5068 නිලධාරියාට සිදු කරන ‍ගෞරවයක් වශයෙන් පසුගිය ඔක්තෝබර් 5 වන දිනට යෙදී තිබූ ඔහුගේ 70 වන ජන්ම දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ඇරෝ යාත්‍රා “‍සෙඩ්රික්” (Cedric) ලෙස හැදින්වීමට නාවික හමුදාව තීරණය කොට ඇත. වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ දිවංගත, කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් විසින් 1993 වර්ෂයේ ඔක්තෝබර් මස විශේෂ යාත්‍රා බලඝණය ස්ථාපිත කළ අතර, ඒ සඳහා රාජකීය විශේෂ යාත්‍රා බලඝණය සහ එක්සත් ජනපදයේ සීල් විශේෂ යාත්‍රා ඒකකය පදනම් කර ගන්නා ලදී.

වේග ප්‍රහාරක යාත්‍රා හා පිටත දහන එන්ජින් පිළිබද කොමාණ්ඩර් මාර්ටෙන්ස්ටයින්ගේ විශේෂඥ දැනුම උපයෝගි කොට ගෙන නිර්මාණය කරන ලද අඩි 16 ක් දිග ඇරෝ යාත්‍රා, කොටි ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද ‍කුඩා යාත්‍රාවන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීම සඳහා සාර්ථක ලෙස යොදා ගැනීමට විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයන් හට හැකිවිය. පසුව නවීන වර්ගයේ අවි දෙකක් වන මිලි මීටර් 40 ස්වයංක්‍රීය ග්‍රෙනේඩ් විදින අවි සහ 7.62 x 51 බහු කාර්යය ස්වයංක්‍රීය අවි 2 ක් එය‍ටම සරිලන ආකාරයේ අඛණ්ඩ රාමු සහිත අවි රදවන 2 ක් ද එයට සවි කරන ලදී. එහි ප්‍රථිපලයක් වශයෙන් මෙම යාත්‍රා වෙඩි බලය හැසිරවීමේ පහසුවසහ වේගයත් උසස් පුහුණුවකින් යුත් විශේෂ යාත්‍රා බලඝණයේ නාවික පුද්ගලයින් නිසාත් කළපු ආශ්‍රිත ජයග්‍රහණ රැසක් නාවික හමුදාව වෙත අත්කර ගැනීමට හැකි විය. මෙම බලඝණය “විකුමතියට භාග්‍ය ප්‍රසාදිනිය වේ” යන ආදර්ශ පාඨය තේමා කර ගනිමින් ක්‍රියාත්මක වේ.

කොමාණ්ඩර් මාර්ටෙන්ස්ටයින් මහතා 1995 වර්ෂයේදී විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී ලෙසට රාජකාරී භාර ගත් අතර, එම අවස්ථාව ස්වේච්ඡා නාවික හමුදාවේ නිලධාරියෙකු විශේෂ යාත්‍රා බලඝණය වෙත අණදුන් පළමු නිලධාරියා ලෙස නාවික ඉතිහාසයට එක්ව ඇත. විශේෂ යාත්‍රා බලඝණයේ රාජකාරී කළ ලුතිනන් ‍කොමාණ්ඩර් තුෂාර පලිහේන සහ කොමාණ්ඩර් මාර්ටෙන්ස්ටයින් යන නිලධාරීන් දෙදෙනා හෙලිකොප්ටරයකින් ගමන් කරමින් සිටියදී 1996 ජනවාරි මස 22 වන දින වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී එල්ල වූ සතුරු ප්‍රහාරයකින් අතුරුදහන් විය. ඉතාමත් අසීරු අවධියක අලිමංකඩ යුධ හමුදා කඳවුරේ රාජකාරි සඳහා යොදවා තිබූ විශේෂ යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් පිළිබඳ සොයා බැලීමට එහි ගොස් ආපසු එමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පාන්නට කොමාණ්ඩර් මාර්ටෙන්ස්ටයින් හට සිදු විය.

නාවික හමුදාව සතු ප්‍රථම ඇරෝ යාත්‍රාව සැලසුම් කොට නිෂ්පාදනය කිරීම උදෙසා ඔහු විසින් සපයන ලද අති විශාල වූ දායකත්වයත් සතුරන් සමග සටන් කිරීම කෙරෙහි ඔහු තුළ වූ නිර්භිතකමත් අගයනු පිණිස එතුමන්ගේ 70 වන ජන්ම දිනය නිමිති කර ගෙන නාවික හමුදාව සතු ඇරෝ යාත්‍රා සෙඩ්රික් (Cedric) වශයෙන් නම් කිරීමට පියවර ගන්නා ලදී.

පියාගේ අඩිපාරේ යමින් 1994 සැප්තැම්බර් මස 6 වන දින AN 32 ප්‍රවාහන ගුවන් යානයක ගුවන් නියමුවෙකු වශයෙන් ගුවන් හමුදාවට බැඳුනු පියාසර නිලධාරී ජේසන් මාර්ටෙන්ස්ටයින් 1995 සැප්තැම්බර් මස 13 වන දින ක්‍රියාන්විත රාජකාරියේදී සිය දිවි කුසුම මව්බිම වෙත පූජා කළේය. මාතෘ භූමියේ ස්වෛරීත්වය උදෙසා සිය ජීවිතය පූජා කළ පිය පුතුන් අතලෝස්සක් අතරින් මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉතිහාසය තුළ නොමැකෙන සටහනක් තබා ඇත.