නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට‍
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිතර වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (13) නාවික හමුදාව සමත් විය. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් නිලාවේලි මුහුදු තීරයේ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයින් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඩිංගි යාත්‍රාවක් සහ ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 544 ක්ද අත්අඩංගුවට ගත් අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පල්ලිමුනායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී ඩිංගි යාත්‍රාවක් සහ කිමිදීම සඳහා යොදා ගනු ලබන පා වරල් යුගල් 3 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.