අද්මිරාල් කොළඹගේ මහතා විසින් රචිත “ASYMMETRIC WARFARE AT SEA: THE CASE OF SRI LANKA” නම් ග්‍රන්ථය එළිදැක්වේ

හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වූ අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය, ජයනාත් කොළඹගේ මහතා විසින් රචිත “ASYMMETRIC WARFARE AT SEA: THE CASE OF SRI LANKA” නම් කෘතිය අද (14) අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී එළිදැක්විය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

ප්‍රවීණ දේශකයෙකු මෙන්ම ගත් කතුවරයෙකු වන එතුමා විසින් රචිත මෙම ග්‍රන්ථය මගින් අසමමිතික යුද කටයුතු, මුහුදු කොටි ත්‍රස්තවාදීන්ගේ වර්ධනය, පසුබෑම, ඔවුන්ගේ යුද සහ මෙහෙයුම් හැකියාව මෙන්ම එම ක්‍රියාකාරකම් හමුවේ නාවික හමුදාව විසින් සාගරික ආරක්ෂාව තහවුරු කළ ආකාරය පාඨකයා හට මනාව විදහා දක්වයි.

තවද, අසමමිතික යුද කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදා ඉතිහාසයේ රචනා වූ පළමු කෘතිය මෙය වන අතර, මෙය වර්තමානයට මෙන්ම අනාගතයට ද එකසේ වැදගත් වන ඉතා වටිනා කෘතියක් බැව් සඳහන් කළ යුතුය.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමා, මෙම කෘතිය රචනා කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද්මිරාල් කොළඹගේ මහතා හට සිය හෘදයාංගම සුභාෂිංසන එක් කළ අතර, මෙවැනි අවස්ථාවක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට හැකිවීම ඔහු ලද භාග්‍යක් ලෙස ද සඳහන් කරන ලදී. 2013 සහ 2014 යන වර්ෂයන්හි නාවික හමුදාධිපතිවරයා වශයෙන් අනගිභවනීය සේවයක් ඉටුකළ එතුමා හට 2015 වර්ෂයේදී ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධියක් ද පිරිනමන ලදී. ආරක්ෂක හමුදා ඉතිහාසයේ විශ්‍රාමික හමුදාපතිවරයෙකු ආචාර්ය උපාධිය ලබාගත් ප්‍රථම අවස්ථාව එය වූ අතර, ඒ තුළින් ද නාවික හමුදාවට කීර්තියක් අත්කර දීමට එතුමා හට හැකිවිය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 18 වැනි නාවික හමුදාධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අද්මිරාල් (විශ්‍රාමික) කොළඹගේ මහතා, නිර්භීතභාවය වෙනුවෙන් පිදෙන රණශූර පදක්කමින් මෙන්ම විශිෂ්ඨ සේවා විභූෂණය හා උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් හා පළඳනා රාශියකින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වේ. එමෙන්ම, ඔහු නාවික සේවයේදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ නාවික හමුදාව වෙනුවෙන් ඉටු කර ඇති විශිෂ්ඨ වූ සේවය ඇගයීමක් වශයෙන් නාවික හමුදාධිපතිවරුන් විසින් පිරිනමනු ලබන ප්‍රශංසාත්මක ලිපි බොහෝමයක් ද ලබා ඇත.

36 වසරක අභිමානවත් නොකැළැල් නාවික දිවිය තුළ ඉලක්කයන් රැසක් ජයගැනීමට හැකිවූ ඔහු ආරක්ෂක කටයුතු පිළිබඳ විද්‍යාපති උපාධියත්, ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමිකර ගෙන ඇත. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ඇතුළු අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.