හම්බෙගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 විවෘත කෙරේ‍
 

නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් හම්බෙගමුව ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කොටවෙහෙරමංකඩ මහා විද්‍යාලයේ සහ රතඹලාගම ශ්‍රී බෝධිරාජාරාමයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් අද (17) ජනතා අයිතියට පත් කෙරිණි. එම අවස්ථාවන් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන්, ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂක (ඌව), ජගත් පුෂ්පකුමාර මහතා විසින් එම යන්ත්‍ර 2 විවෘත කරන ලදී.

වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතින අතර, මෙමගින් කොටවෙහෙරමංකඩ මහා විද්‍යාලයේ දරු දැරියන් 720 දෙනෙකු සඳහා සහ ප්‍රදේශයේ පවුල් 380 ක් සඳහා ද රතඹලාගම ප්‍රදේශයේ පවුල් 850 ක් සඳහා ද පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකායේ මූල්‍ය අනුග්‍රහය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ප්‍රතිආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. එමෙන්ම, මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 39 ක් වකුගඩු රෝගය පවතින ප්‍රදේශයන්හි ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති අතර, එමගින් පාසල් සිසු දරු දැරියන් 11,000 කට පමණ සහ පවුල් 20,000 කට පමණ පිරිසිදු ජලය ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් සිටී.

මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකාය නියෝජනය කරමින් වෛද්‍ය කුෂාන් හෙට්ටිආරච්චි මහතා සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුභවතුන්, සිසු දරු දැරියන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. මෙම වැඩසටහනට සමගාමිව, වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශයන්හි එම රෝගී තත්ත්වය වළක්වාලීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරමින් පවතී.