හම්බෙගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ‍
 

නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් මොණරාගල, හම්බෙගමුව ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව මො/අළුත්වැව කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා එම විද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන්, ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්‍ෂක (ඌව), ජගත් පුෂ්පකුමාර මහතාගේ සුරතින් අද (26) දින විවෘත කරන ලදී.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මූල්‍ය අනුග්‍රහය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්‍ෂණික හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් මෙම ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතින අතර, මෙමගින් අළුත්වැව කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් 275 දෙනෙකු සහ ප්‍රදේශයේ පවුල් 350 ක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෙමගින් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් 5,000 ක් ලබා ගැනීමේ හැකියාව ද පවතී.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්‍ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 40 ක් වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 22,000 කට හා පාසැල් දරුවන් 16,000 කට ආසන්න පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් සිටී. මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදා නිලධාරීන්, විද්‍යාලයේ විදුහල්පතිතුමන් වන ආර් සූරියආරච්චි මහතා, ගුරුභවතුන්, සිසු දරු දැරියන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.