නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි කදවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එම ධීවරයින් වෙත්තලකේනි සහ චුන්ඩිකුලම් යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ ධීවර කටයුතු සඳහා සීමා කරන ලද මුහුදු ප්‍රදේශයන්හි තහනම් කිමිදුම් උපකරණ සහ කිමිදුම් ක්‍රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ කටයුතුවල නිරතව සිට ඇත. එහිදී ඩිංගි යාත්‍රා 2 ක්, පා වරල් යුගල් 4 ක්, GPS යන්ත්‍ර 2 ක් සහ මුහුදු කූඩැල්ලන් 438 ක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.