උතුරු නාවික විධානය මගින් අනලතිව් දූපතේ ක්‍ෂෙත්‍ර වෛද්‍ය සායනයක් පැවැත් විය
 

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරමින් සිටින ප්‍රජා සත්කාර සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධාන මූලස්ථානය මගින් සංවිධානය කළ ක්‍ෂෙත්‍ර වෛද්‍ය සායනයක් අනලතිව් දූපතේ පිහිටි අයියනාර් පෙර පාසලේ දී උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (6) පවත්වන ලදී.‍

යාපනය ප්‍රදේශයට ඔබ්බෙන් පිහිටා ඇති හුදකලාව පිහිටි අනලතිව් දූපත් වාසීන් විශාල ප්‍රමාණයකට ඔවුන්ගේ රෝගී තත්ත්වයන් පරීක්‍ෂා කර ගැනීමටත් රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමටත් මෙම ක්‍ෂෙත්‍ර වෛද්‍ය සායනයෙන් අවස්ථාව උදාවිය. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සිදු කරන ලද මෙම‍ ප්‍රජා සත්කාරය පිළිබඳව නාවික හමුදාව ඔවුන්ගේ  ඇගයීමට ලක් විය.

මෙහිදී, බෝවන රෝග බෝ නොවන රෝග සහ ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙන ලදී. කුඩා දරුවන්, වැඩිහිටියන් සහ කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටළු මෙම ක්‍ෂෙත්‍ර වෛද්‍ය සායනයේදී පරීක්‍ෂාවට ලක් විය. මෙම ක්‍ෂෙත්‍ර වෛද්‍ය සායන සඳහා අවශ්‍ය ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ හේමාස් ඖෂධ හා ඉන්ටෆාර්මා යන ආයතන විසින් නොමිලේ ලබා දෙන ලදී.