සුර්ය බලයෙන් ආලෝකමත් වන ශ්‍රී ලංකා නාවික හමුදාව
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශය තම දැනුම හා තාක්‍ෂණික ඥානය ප්‍රයෝජනයට ගනිමින් තවත් ඵලදායි වැඩ පිළිවෙලක් නාවික හමුදාව තුළ දියත් කර ඇත. ලෝකයේ තාක්‍ෂණික පරිවර්තනය සමග අත්වැල් බැද ගනිමින් රජය මගින් දියත්කර ඇති සුර්ය සංග්‍රාමයට මහා පවුරක් වෙමින් නාවික හමුදාව තුළම සුර්ය බලයෙන් ක්‍රියා කරන විදුලි පහන් නිපදවා නාවික හමුදාවේ අවශ්‍යතාවයන් ඉටු කරගනු ලබයි.

වසර ගණනාවක සිට නාවික හමුදාව සතුව රට වටා ඇති වෙරළ ආරක්‍ෂක මුරපලවල් වලට විදුලිය ලබාදීම ප්‍රායෝගික වශයෙන් ගැටලු සහගත විය. නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් නිපදවු සුර්ය බලයෙන් ක්‍රියා කරන මෙම යන්ත්‍ර මගින් විදුලි පහන්, පණිවිඩ හුවමාරු කිරිමට අවශ්‍ය උපකරණ, ජංගම දුරකතන ආදියෙහි බැටරි ආරෝපණය කිරිම මෙම යන්ත්‍ර තුළින් සිදු කර ගැනීමට අවස්ථාව උදාවේ.

වකුගඩු රෝග නිවාරණය උදෙසා කැපවී සිටින නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් නිපදවන ප්‍රති ආස්‍රැත ජල පිරිපහසු යන්ත්‍ර සුර්ය තාපයෙන් ක්‍රියා කරවිම සදහා කටයුතු යොදා ඇත. සුර්ය තාපය නොඅඩුව ලැබෙන රජර‍ට ප්‍රදේශයේ මහජනතාවට පිරිසිදු පානීය ජලය නොමිලේ ලබාදිමට මෙම සුර්ය බල ශක්තියෙන් ක්‍රියා කරන ප්‍රති ආස්‍රැත යන්ත්‍රය කදිම පිටුවහලක් වනු ඇත. ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවට අවුරුද්ද පුරාම නොඅඩුව ලැබෙන සුර්යාලෝකය උපරිම ප්‍රයෝජනයට ගනිමින් ඉන් ලැබෙන ශක්තිය ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ මෙන්ම මුළුමහත් ර‍ටේම අභිවෘද්ධිය තකා යෙදවිමේ වැඩ පිළිවෙළක්ද ආරමිභ කර ඇත. Net Metering ක්‍රමවේදය තුළින් රටේ විදුලිබල පද්ධතියට විදුලිය සැපයිමේ ව්‍යාපෘතියක් මේ වන විට නාවික කදවුරු ආශ්‍රිතව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ ආරම්භ කර ඇත.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් සිදු කරන සෑම කටයුක්තකදීම පැසසිය යුතු කරුණ වන්නේ මේ සදහා වැයවන පිරිවැය ඉතා අඩු මටිටමක පවත්වගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙන්ම මුලුමහත් රටේම ඵලදායිතාවය ඉහළ නංවා ගැනිමයි.