50 වැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් අද (10) විවෘත කෙරිණි. ඒ අනුව, මහියංගනය ප්‍රදේශයේ උල්හිටිය මහා විද්‍යාලය, හද්දත්තාව මහා විද්‍යාලය, අලුයටවෙළ මහා විද්‍යාලය, හෙබරව මහා විද්‍යාලය සහ අනුරාධපුර ප්‍රදේශයේ පහමුණේගම හා වාහල්කඩ රජමහා විහාරය යන ප්‍රදේශ වලදී එම ජල පිරිපහදු යන්ත්‍ර විවෘත කරන ලදී. මෙම යන්ත්‍ර 6 ත් සමග අද වන විට මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 50 ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට නාවික හමුදාව සමත් වී ඇත. එමගින් පවුල් 25,215 කට සහ පාසැල් දරුවන් 18,517 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය නොමිලේ ලබාදීමට හැකියාව ලැබී ඇත.

ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකායේ මුල්‍ය ප්‍රතිපාදන මත ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර ඉතා කෙටි කාලයක් තුළදී ස්ථාපිත කිරීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සමත් වී ඇත. වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතින අතර, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරමින් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කරමින් සිටී.

මෙමගින් උල්හිටිය මහා විද්‍යාලයේ දරු දැරියන් 915 දෙනෙකු, ගුරුවරුන් 43 දෙනෙකු හට සහ ප්‍රදේශයේ පවුල් 535 කට, හද්දත්තාව මහා විද්‍යාලයේ දරු දැරියන් 802 දෙදෙනෙකු, ගුරුවරුන් 42 දෙදෙනෙකු සහ ප්‍රදේශයේ පවුල් 535 කට, අලුයටවෙළ මහා විද්‍යාලයේ දරු දැරියන් 450 දෙනෙකු, ගුරුවරුන් 30 දෙනෙකු සහ ප්‍රදේශයේ පවුල් 300 කට, හෙබරව මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් 350 දෙනෙකු, ගුරුවරුන් 22 දෙදෙනෙකු සහ ප්‍රදේශයේ පවුල් 400 කට මෙන්ම තඹුත්තේගම සහ පහමුනේගම යන ප්‍රදේශයන්හි පවුල් 375 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

තවද, වාහල්කඩ පිහිටි වාහල්කඩ රජමහා විහාරයේ ස්වාමීන්වහන්සේ නමක් විසින් වකුගඩු රෝගීන්ට සහ පිළිකා රෝගීන්ට හට නොමිලේ ප්‍රථිකාර කරනු ලබයි. මෙම විහාරස්ථානයේ නේවාසිකව රෝගීන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බැවින් ඔවුන්ගේ පානීය ජල ප්‍රශ්නය විසදීම සදහා නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් මත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය එම ස්ථානයට ලබාදිමට කටයුතු කර දැනට පිරිසිදු පානීය ජලය නොමිලේ ලබාදෙනු ලබයි.

උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ සහ ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් එම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකරන ලදී.