නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

මීගමුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “අමිත් පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (11) සවස කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව රෝගියා රැගෙන ඒම සඳහා පි 4443 වේග ප්‍රහාරක යාත්‍රාව පිටත් කර යැවීමට කටයුතු කළ අතර, කොළඹ වාරයේ සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව කොළඹ ශ්‍රි ලංකා නාවික නෞකා රංගල ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ඉන් අනතුරුව ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කෙරිණි.