ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ගොඩනැගුනු වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත් වී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් දීප ව්‍යාප්තව සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මැදිරිගිරිය ප්‍රදේශයේ අභයපුර සහ සෙනරත්පුර ගම්මානවල ජනතාව සදහාද කැකිරාව ප්‍රදේශයේ පඩිකාරම්මඩුව ගම්මානය සදහා ද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ඊයේ (25) ජනතා අයිතියට පත් කෙරිණි.

මැදිරිගිරිය ප්‍රදේශයේ අ‍භයපුර සහ සෙනරත්පුර ගම්මානයන්හි ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර සදහා කොළඹ, ගාලු මුවදොර හෝටලය මගින් මූල්‍යමය දායකත්වය සැපයූ අතර, කැකිරාව පඩිකාරම්මඩුව ගම්මානය සදහා සිරස ගම්මැද්ද වැඩසටහන මගින් මූල්‍යමය දායකත්වය සැපයිණි.

ඒ අනුව, අභයපුර සහ සෙනරත්පුර ගම්මානවල පවුල් 400 කට සහ 500 කට පිරිසිදු පානීය ජලය ලබා දීම සනිටුහන් කරමින් වකුගඩු රෝග නිවාරණ ඒකකයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක අසේල ඉද්දවෙල මැතිතුමා සහ එම මැතිණිය මෙන්ම ගාලු මුවදොර හෝටල් සංකීර්ණයේ අධිපති සංජීව් ගාඩිනර් මහතා පිරිසිදු පානීය ජලය මහජනතාවට ලබා දීම සුභ මොහොතින් ආරම්භ කළහ.

තවද, පඩිකාරම්මඩුව ගම්මානයේ පවුල් 400 කට පිරිසිදු පානීය ජලය ලබා දීම වෙනුවෙන් ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීමේ අවස්ථාව සදහා ඒ වෙනුවෙන් මූල්‍යමය දායකත්වය ලබා දුන් සිරස ගම්මැද්ද වැඩසටහනේ කාර්යය මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන අලෙවි නිලධාරී, යසන්ත කරුණාරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් එක්විය.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, තම නාවික පර්යේෂණ සහ සංවර්ධන අංශය යොදා ගනිමින් දිස්ත්‍රික්ක 11 ක් පුරා පැතිරී පවතින මෙම මාරාන්තික වකුගඩු රෝගය නිවාරණය කිරීමේ දැවැන්ත උත්සාහයේ පෙර ගමන්කරු බවට පත්ව සිටී. මේ වන විට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 55 ක් දිවයින පුරා ස්ථාපනය කර මහජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දේ. මෙහි විශේෂත්වය වනුයේ ස්ථාපනය කරන ලද සියළුම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර පැය 24 පුරාම ක්‍රියාකාරී තත්ත්වයේ පවත්වා ගනිමින් මහජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරා දීමයි.