ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අමතා ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති අද්මිරාල් හැරී බී හැරිස් මහතා විසින් සිදු කළ දේශණය
 

ඉන්දු - ආසියා පැසිෆික් කළාපයේ නාවික හමුදාවන් සමඟ උපාගමාර්ගික සබඳතා ගොඩනැගීම සම්බන්ධව එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති සහ අරමුණු

මෙම අවස්ථාවට මා හදුන්වා දීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හට මාගේ ස්තූතිය පුද කර සිටිමි. වයිස් අද්මිරාල් විජේගුණරත්න මහතා අසමමිතික යුද කටයුතු, විශේෂ යාත්‍රා මෙහෙයුම් පිළිබඳ විශේෂඥයෙකු මෙන්ම දක්ෂ රග්බි ක්‍රීඩකයෙකු ද වේ. එසේම ඕනෑම පුද්ගලයෙකු ඔහු තමන්ගේ පාර්ශවයේ සිටිනු දක්නට කැමතිය. එබැවින් මා ඔහු මිතුරෙකු යැයි ඇමතීමට කැමැත්තෙමි.

එසේම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඇමරිකානු නාවික හමුදාවට අයත් “USS Hopper” නෞකාවේ සිටි නාවිකයෙකු හදිසි තත්ත්වයක් යටතේ ඉන් මුඳවා ගෙන කොළඹ රෝහලක් වෙත ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මාගේ ගෞරවය ශ්‍රී ලංකා නාවික හමුදාවට පුද කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව “USS Makin Island”හි තවත් නාවිකයෙකු හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා පසුගිය සති අන්තයේ කොළඹ රෝහලකට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද මාගේ ස්තූතිය පුද කර සිටිමි.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ වෘත්තීමය භාවය සහ සැළකිල්ල නිසැක වශයෙන්ම ජීවිත බේරා ගැනීමට උපකාරී වී ඇත. එම හදිසි අවස්ථාවන්හි ප්‍රකට කරන ලද උපකාරය මා මෙහිදී ඉතා අගයකොට සළකමි.

එමෙන්ම, මෙම වැදගත් අවස්ථාවට සිය කාලය සහ ශ්‍රමය වැය කරමින් සම්බන්ධ වූ සියළුම දෙ‍නාහට මාගේ කෘතවේඳීත්වය පළකර සිටීමට කැමැත්තෙමි.

• අප වෙනුවෙන් දක්වන ලද ආගන්තුක සත්කාර වෙනුවෙන් මෙහිදී මා විශේෂයෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හට ගෞරව පූර්වක ස්තුතිය පුද කර සිටිමි.

• මෙම අවස්ථාවට සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද මා මේ අවස්ථාවේදී සිහිපත් කරමි.

• එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇමරිකානු මහ කොමසාරිස් කාර්යාලයේ තානාපති, අතුල් කෙෂප් මහතා විසින් ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සිදු කරනු ලබන උසස් සේවය මා ඉතා අගයකොට සළකමි. ඔහු විසින් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශවීය සබඳතාවයක් ගොඩනැඟීම සඳහා කැපවීමෙන් කටයුතු කරමින් සිටී. තවද,

• ෆීල්ඩ් මාෂල්, සරත් ෆොන්සේකා මහතා, සන්නද්ධ සේවා ධජ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් මෙන්ම ගෞරවනීය හා සම්භාවනීය අමුත්තන් ද මේ මොහොතේ සිහිපත් කර සිටිමි.

මෙවර ගාලු කතිකාව සඳහා සම්බන්ධ වීමට ලැබීම සත්‍ය වශයෙන්ම මා ලද භාග්‍යක් ලෙස සළකන අතර, මෙම සම්මන්ත්‍රණය ඉන්දියානු සාගර කළාපයේ සාගරික ආරක්ෂාව පිළිබඳ කටයුතු සාකච්ඡා කිරීම සඳහා සැකසුනු කදිම වේදිකාවක් බවට පත් වී ඇත.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන පදිංචිකරුවෙකු වූ විද්‍යාඥ ආතර් සී ක්ලාක් මහතා ප්‍රකාශ කර සිටියේ විශාල වශයෙන් සාගරයෙන් වැසී පවතින අප ග්‍රහලොව ප්‍රථිවිය ලෙස නම් කිරීම සුදුසු නොවන බවයි.

කොළඹ නගරය සුන්දර නවීන නගරයක් බවට පත් වී ඇත. එහි සියළු තැන්හීම ශ්‍රී ලංකාවේ පෞරාණික උරුමය සැඟව පවතී. හමුදාමය වශයෙන් අපගේ බැඳීම් ශක්තිමත් වීමත් සමගම මෙරට ජනතාව හඳුනා ගැනීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත්විය.

එසේම ඉන්දු-ආසියා පැසිෆික් කළාපයට අයත් මෙම ඉන්දියානු සාගර ප්‍රදේශයට පැමිණීමට ලැබීම ඉතා අනගි අවස්ථාවක් ලෙස සළකමි. ඇතැම් අවස්ථාවල මෙම කළාපය ඉන්දු-ආසියා පැසිෆික් යනුවෙන් නම් කරන්නේ කුමක් නිසාද යන්න මා මාගෙන්ම ප්‍රශ්න කරමි. ඒ වෙනුවට මෙම කළාපය බහුල වශයෙන් භාවිතා කරන ආසියා පැසිෆික් ලෙස නම් නොකරන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව ද මාගේ සිත තුළ කුතුහලයක් පවතී.

මාගේ පිළිතුර ඉතා සරලය. ඉන්දු-ආසියා පැසිෆික් කළාපයන්හි ආර්ථික ජීවය ඉන්දියානු සහ පැසිෆික් සාගරයන් වේ. එමඟින් ඉන්දියානු උප මහද්වීපය, ගිණිකොන දිග ආසියාව, ඕස්ට්‍රේලියාව, ඊසාන දිග ආසියාව, ඕෂනියාව සහ එක්සත් ජනපදය සම්බන්ධ කරයි. කාලයකට ප්‍රථමයෙන් සාගරය යනු අප භෞතිකමය සහ මානසිකමය වශයෙන් වෙන් කරන ලද බාදකයක් වන අතර, වර්තමානයේ සාගරික කටයුතු වල වේගවත් බව අප සමීප කර ඇත.

ඉන්දියානු සාගරය ඇමරිකා එක්සත් ජනපදයට වැදගත් සාධකයකි. ශ්‍රී ලංකාව ද ඇමරිකා එක්සත් ජනපදයට වැදගත් සාධකයක් වෙයි. එසේම මාගේ විශ්වාසය නම් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ද වැදගත් සාධකයක් වී ඇති බවයි.

දශකයකට පමණ පසු ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ අද්මිරාල්වරයෙකු වශයෙන් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ආරක්ෂක සබඳතා ශක්තිමත්ව පැවතීම දක්නට ලැබීම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙමි. එම තත්ත්වය උපාගමාර්ගික වශයෙන් වැදගත් කළාපයක් වන මෙම ප්‍රදේශය විස්තර කිරීම සඳහා මාගේ අර්ථකතනය තව දුරටත් තහවුරු වනු ඇත.

උපායමාර්ගික වැදගත්කම නිශ්චය කිරීමේදී සාධක 3 ක් සැළකිල්ලට ගත යුතු යැයි මා අසා ඇත. ඒවා නම් ස්ථානය, ස්ථානය සහ ස්ථානයයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකාව උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටා ඇත. සත්‍ය වශයෙන්ම එය ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි. ලොව වෙළඳ නෞකා ගමන් මාර්ග බොහොමයක් මේ හරහා වැටී ඇත.

කිසියම් පුද්ගලයෙකු හට හූමූස් සිට මලක්කා වෙත හෝ රතු මුහුදේ සිට දකුණු චීන මුහුද වෙත ගමන් කිරීමේ දී ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත. මෙම නැගෙනහිර-බටහිර වෙළඳ මාර්ග මඟින් ලෝක ආර්ථිකය සම්බන්ධ කරනු ලබයි. මෙම බාධා රහිත මුහුදු මාර්ග හේතුවෙන් මලක්කා සමුද්‍ර සන්ධිය හරහා දිනකට ලෝකයට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවයන්ගෙන් 25% ක් පමණ ප්‍රවාහනය කිරීම කරනු ලබයි. තවද, දකුණු චීන මුහුද හරහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5.3 ක ගෝලීය වෙළඳ කටයුතු සිදු කරනු ලැබේ. වර්තමානයේ ලොව සෑම ප්‍රදේශයක්ම රඳා පවතින්නේ මෙම කළාපයේ ස්ථායීතාවය මතය.

නමුත්, ස්ථාවරත්වය සහ ආරක්ෂාවෙන් තොර කළාපයකින් කිසිඳු පළක් නොමැත.

එබැවින්, මෙවර ගාලු කතිකාවේ තේමාව වන “උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම” පිළිබදව ඔබගේ අවධානය වැඩි වශයෙන් යොමු කළ යුතුය.

සත්‍ය වශයෙන්ම න්‍යාය ගත ජාත්‍යන්තර ක්‍රියා පටිපාටියක්, එසේත් නොමැති නම්, මාගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන ඩැනී රසල් ප්‍රකාශ කරන පරිදි ගෝලීය මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම මා මෙහිදී යෝජනා කරමි. එතුලින්, දශක 7 ක පමණ සිට පැවත එන ඉන්දු-ආසියා පැසිෆික් කළාපයේ සමෘද්ධිය තව දුරටත් තහවුරු වනු ඇත.

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අභිප්‍රාය සාගරික විෂය අළලා සකස් වී තිබුන ද එයට අනුබද්ධ අනෙකුත් විෂයයන් වන ගුවන්, අභ්‍යාවකාශ සහ සයිබර් අවකාශය වැනි ක්ෂේත්‍රයන් වලට ද ආරක්ෂාව ලබා දිය යුතුය.

මෙම මූලධර්ම හුදු කල්පනික මතවාද හෝ යම් රටකට අදාල වූ සංකල්ප නොවේ. එමෙන්ම ඒවා කෙනෙකුගේ අභිමතය පරිදි ලබා දීම හෝ ඉවත් කර ගත හැකි වරප්‍රසාදයන් ද නොවේ. ඒවාට පැහැදිලි අර්ථයක් ඇත. ඒ හේතුවෙන් මේවා මෙපමණ දීර්ඝ කාලයක් ඉතා හොදින් ක්‍රියාත්මක වී ඇත.

අද දින මා හට ලබා දීමට අවශ්‍ය පණිවිඩය ඉතා සරළය. සමෘද්ධිමත් මාවතක් ඔස්සේ ගමන් කිරීමට නම් අප විසින් සබදතා ඇති කර ගත යුතුය. එමඟින් සමාන අදහස් ඇති රාජ්‍යයන් අතර පාලනය මත පදනම් වූ ගෝලීය මෙහෙයුම් පද්ධති නිර්මාණය කර ගත හැකිය. මෙමඟින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් කාටර් මහතා ප්‍රකාශ කරන පරිදි මූලධර්ම මත පදනම් වූ ආරක්ෂක ජාලයක්ඇති කර ගත හැකිය.

මෙම ජාලය මඟින් විශාල සහ කුඩා රාජ්‍යයන් සඳහා පොදු විෂය ක්ෂේත්‍රයන්ට පිවිසීමේදී සමාන වූ අවස්ථා හිමිවේ. තවද, මෙයට ඇතුළත් වීමට සහ පවත්වා ගැනීමට කැමැත්තෙන් සිටිය සියලු ජාතීන් ඔසවා තබන ගාමක බලවේගය බවට පත්ව ඇත්තේ ගෝලීය මෙහෙයුම් පද්ධතියයි.

ශ්‍රී ලංකාව, මෙහෙයුම් පද්ධතිය සඳහා දායකත්වය දක්වන සුවිශේෂී පාර්ශවකරුවෙකු ලෙස හඳුන්වා දිය හැකිය. උදාහරණයක් වශයෙන් ලෙබනනය, මාලි රාජ්‍යය, මධ්‍යම අප්‍රිකාව සහ දකුණු සූඩානය යන රටවල්හි ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව දායකත්වය සපයයි. එමෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ නිදහස් නාවික ගමනාගමනයන් තහවුරු කළ හැකි පාර්ශව කරුවෙක් ලෙස සඳහන් කළ හැකිය. මෙහිදී ශ්‍රී ලංකාවේ හඩට ප්‍රබල ස්ථානයක් හිමි වී ඇත.

මෙහිදී, 2011 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද නෞකාවන් පැමිණීම විශේෂයෙන් සඳහන් කළ හැකිය. මෙය ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර හමුදා බැදීම් ශක්තිමත් කළ සුවිශේෂී අවස්ථාවක් වශයෙන් සනිටුහන් වේ.

පසුගිය මාර්තු මස ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වූ ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධාන ධජ නෞකාව වන "බ්ලූ රිජ්" යුද නෞකාව නැරඹීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමන් එක් වූ අතර, නෞකාවේ කාර්යය මණ්ඩලය විසින් එහිදී එතුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ඉන් අනතුරුව එම සාර්ථකත්වයේ ප්‍රථිපලයක් ලෙස තවත් එක්සත් ජනපද නෞකා ත්‍රිත්වයක් වන නිව් ඕර්ලන්ස්, ෆ්‍රෑන්ක් කේබල් සහ ඉතා මෑතකදී ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණි සමර්සෙට් යන නෞකාවන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලදී.

ඇමරිකානු නාවික හමුදාවට අයත් සමර්සෙට් යුද නෞකාවේ මැරීන් සෙබළු ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය සමඟ එක්ව කළාපීය ආරක්ෂක සහයෝගීතා හුවමාරු අභ්‍යාස රාශියක් සිදු කරන ලදී. මෙතුලින් මෙහෙයුම් හැකියාවන් වර්ධනය කර ගැනීම, කුඩා යාත්‍රා හැසිරවීම වැනි කටයුතු මගින් මානුෂීය හා ආපදා කළමණාකරන මෙහෙයුම් සිදු කරන ආකාරය විදහා දක්වන ලදී.

මෙවැනි කටයුතු තුළින් ප්‍රකට වන්නේ ශ්‍රී ලංකාව සහ මෙම කළාපයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අප විසින් දක්වනු ලබන කැපවීමයි.

ඇමරිකා එක්සත් ජනපදය සමග සහයෝගීතාවය වර්ධනය කර ගැනීම තුළින් රටවල් දෙකෙහිම කටයුතු අර්ථවත් ආකාරයෙන් ක්‍රියාත්මක කර ගැනීමට ඉවහල් වී ඇත. එමෙන්ම දශක 3 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව යුද ගැටුම් වලට මුහුණ දුන් අතර, දෙරටේ සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම තුළින් සහජීවනය සහ විනිවිධ භාවය වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.

සත්‍ය වශයෙන්ම සිවිල් යුද්ධයකට පසු ඇමරිකාව මුහුණ දුන් ගැටළු අපගේ ඉතිහාසය නි‍රීක්ෂණය කිරීමේදී අවබෝධ කර ගත හැක. මෙය ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ගේ “දේශයේ තුවාල සුවපත් කිරීමට නම්” යන ප්‍රකාශයෙන් තහවුරු වේ. එබැවින් මෙම ක්‍රියාවලියේ ඇති අපහසුව සහ සංකීර්ණ බව මා හට අවබෝධ කර ගත හැකිය.

ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම තුළින් සාමය සහ සෞභාග්‍ය ලඟා කර ගැනීමට උනන්දුවක් දක්වයි. ඒ අනුව, ශ්‍රී ලංකාව සිවිල් යුද්ධ සහ හුදෙකලා වීම යන මාර්ගයන්ගෙන් වියුක්තව සහජීවනය සහ එක්ව ක්‍රියා කිරීම යන මාර්ගයන්ට අවතීර්ණ වී ඇත.

ගරු ජනාධිපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය වී ඇති බව ජනතාවට මේ වන විට පසක් වී ඇත

ලාංකීය ජනතාව සහ ඔබගේ නායකයින් ගෙන ඇති වැදගත් පියවර මා පෞද්ගලිකවම අගය කිරී‍මට කැමැත්තෙමි. සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කර ගැනීමට ගෙන ඇති පියවර හේතුවෙන් එක්සත් ජනපදය සමඟ සහයෝගීතාවය තවත් ශක්තිමත් වී ඇත.

මෙම සහයෝගීතාවයේ එක් අංශයක් ලෙස සමුද්‍රීය ආරක්ෂාව සඳහන් කළ හැකිය. මෙම සාගර කළාපයේ සිදු වන මුහුදු මංකොල්ලකෑම්, ත්‍රස්තවාදය සහ අනවසර ප්‍රවාහන කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ඉන්දියානු සාගරයේ සිදු වන කටයුතු සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වේ.

අද්මිරාල් කොළඹගේ මහතා ප්‍රකාශ කරන පරිදි වත්මන් ලෝකයේ ත්‍රස්තවාදය හිස ඔසවමින් පවතී. එසේම, විවිධ ත්‍රස්තවාදී සංවිධාන මඟින් ඉන්දියන් සාගරයේ නෞකා කටයුතු වල නිරත අනාරක්ෂිත නාවික ප්‍රජාව සිය ග්‍රහණයට නතු කර ගැනීමට උත්සාහ දරමින් පවතී. මෙම කළාපයේ ක්‍රියාත්මක වන ISIL කටයුතු පිළිබඳ මාගේ විශේෂ අවධානය යොමු වී ඇත. එමෙන්ම අප සියළුම දෙනා ආපදා සහන කටයුතු සඳහා සහාය වීම, බාධාවකින් තොරව නාවික කටයුතු වල යෙදීමට අවශ්‍ය පරිසරයක් සකස් කර දීමට උනන්දු විය යුතුය.

සාගරික විෂය සම්බන්ධයෙන් ඇති දැනුම වර්ධනය කිරීම තුළින් සාගරික ආරක්ෂාව තර කර ගත හැකිය. සාගරික විෂය පිළිබඳ අවබෝධය ලබා ගැනීමට නම් ඔබට ඒ පිළිබද නිවැරදි ක්‍රියාකාරී දැක්මක්, ඔබ දකින දේ පිළිබද නිවැරදි අවබෝධයක් සහ ඔබ දකින දෙය වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවක් ඔබ සතු විය යුතුය.

මාගේ විශ්වාසයට අනුව දේශීය සහ ජාත්‍යන්තර මට්ටමින් නාවික සහ නීතිය ක්‍රියාත්මක කරන බල අධිකාරයන් සිය තොරතුරු හුවමාරු කර ගත යුතුය. මෙමඟින් අප හට පොදු මෙහෙයුම් සැලැස්මක් සකස් කර ගත හැකිය. එම පොදු මෙහෙයුම් සැලැස්ම මඟින් සාගරයන්හි ගමන් කරන නෞකා කුමන කාර්යයක නිරත වන්නේද, ඒවා යුද හෝ වෙළඳ නෞකාවන් වන්නේද, නීත්‍යානුකූල කටයුතුවල නිරත නෞකාවන් ද, මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී ධීවර කටයුතු හෝ නීතිවිරෝධී මිනිස් ජාවාරම්හි නිරත නෞකාවන් වන්නේදැයි නිරීක්ෂණය කළ හැකිය.

මෙලෙස කල් ඇතිව අදාල අවස්ථාවන් හඳුනා ගැනීම තුළින් නිසි බලධාරීන්ට ඒ සඳහා අවශ්‍ය සුදුසුම තීරණ වලට එළඹිය හැකිය. තවද, ජාතීන් අතර සාමූහිකව ගොඩනැගුනු කළාපීය පොදු මෙහෙයුම් යාන්ත්‍රණයක් තුළින් සාගරික ක්ෂේත්‍රයේ පැන නඟින ගැටළු සම්බන්ධයෙන් ඒකාබද්ධ විසදුම් වලට එළබීමට අවස්ථාව උදා වේ. මෙහිදී වැදගත්ම සාධකය නම් තොරතුරු හුවමාරු කර ගැනීමයි. එමෙන්ම, මෙම ක්‍රියාදාමය විශාල පරිශ්‍රමයක් සහ මුදලක් වැය වන කර්තව්‍යයක් බව මා මනාව අවබෝධ කර ගෙන ඇත.

නමුත්, විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් මහතා ප්‍රකාශ කර ඇති පරිදි “සෑම අපහසුතාවයක් මධ්‍යයේම අවස්ථාවක් නිර්මාණය වී ඇත” සාගරික විෂය ක්ෂේත්‍රයේ දැනුවත් භාවය ගැන සළකා බැලීමේදී ද මෙම ප්‍රකාශය අදාල වේ. මක් නිසාදයත් එය අපහසු කාර්යයක් වුවත් ඒ සඳහා අපගේ උත්සාහය ලබා දීම වඩා වැදගත් වන බැවිනි.

සම්භාවනීය අමුත්තනි, ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයට ලබන ජනවාරි 1 වන දිනට වසර 70 ක් සපිරෙනු ලබයි. දෙවන ලෝක යුද්ධය අවසානයේ පටන් සමාන අදහස් ඇති රටවල් සමග උපාය මාර්ගික සබඳතා ශක්තිමත් කර ගැනීම හරහා අප ඇමරිකාව නියෝජනය කළෙමු. එතුලින් රටවල් අතර සාමූහික ආරක්ෂාවක් වර්ධනය කර ගැනීමට අපට හැකි විය. එසේම, ශ්‍රී ලංකාව සමග ද ඒ ආකාරයෙන්ම සබඳතා ශක්තිමත් කර ගැනීමට අප බැඳී සිටින්නෙමු.

තවද, එක්සත් ජනපදය ඉන්දු-ආසියා පැසිෆික් කළාපයේ වර්ධනය වන ආරක්ෂක ජාලය අපගේ පැසසුමට ලක් වේ. තවද, අපහට සාමූහිකව යෝජනා හා අදහස් හුවමාරු කර ගත හැකි ගාලු කතිකාව වැනි සම්මන්ත්‍රණ සංවිධානය කිරීම පිළිබඳව ද මාගේ පැසසුම හිමි වේ.

“අපි එකට වැඩ කරමු” ඒ අනුව, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර නිරන්තරයෙන් සාකච්ඡා පැවැත්වීම හරහා අපගේ හමුදාමය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මම බලාපොරොත්තු වෙමි. එමඟින් අප සියළු දෙනාටම මෙම කළාපයේ ආරක්ෂාව, සමෘද්ධිය සහ සාමය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ස්තූතියි.