ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මහ‍ රෝහලේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කෙරේ
 

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායට සමගාමීව වකුගඩු රෝගය නිවාරණය කිරීමේ දැවැන්ත මෙහෙවරේ පෙර ගමන් කරුවෙකු බවට පත්ව සිටින නාවික හමුදාව සිය පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් නිපදවා ස්ථාපිත කරන ලද 56 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (1) යාපනය මහරෝහල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී විය. තවද ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්යය මණ්ඩලය සහ ප්‍රදේශයේ ජනතාව ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ. එමෙන්ම, මෙමගින් යාපනය රෝහලේ ප්‍රථිකාර ලබන රෝගීන් හට මෙන්ම වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්යය මණ්ඩලයට සහ ප්‍රදේශයේ ජනතාවට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවට සපුරා ගැනීමට හැකි වනු ඇත. වකුගඩු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කාල වකවානුවක එම රෝගය තුරන් කිරීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ඉතා අඩු පිරිවැයක් දරමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදනය කරමින් සිටී. එමෙන්ම මෙම මහඟු කර්වත්‍ය ආරම්භ කර මෙම මස 22 වන දිනට වසරක් සපිරෙනු ඇත.

නාවික හමුදා ප්‍රජා සත්කාරක අරමුදල මගින් ආරම්භ කළ මෙම ප්‍රජා සත්කාරක සේවාව මගින් අද වන විට පවුල් 28,000 කට වැඩි සංඛාවකට හා පාසල් දරු දැරියන් 20,000 කට පමණ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාව ලැබී ඇත. නාවික පුද්ගලයින්ගේ මූල්‍යමය දායකත්වය මත ආරම්භ කළ, සමාජ මෙහෙවර අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන මගින් නිෂ්පාදනය කරනු ලබන මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර, දිවයිනේ වකුගඩු රෝගය බහුලව පවතින දිස්ත්‍රික්ක 11 ක් ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇත. එමගින් එම ප්‍රදේශයන්හි ජනතාව සඳහා පිරිසිදු පානීය ජලය නොමිලේ ලබා දීමට කටයුතු කරමින් සිටින අතර, වසරකට ආසන්න කාලයක් තුල මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 56 ක් නාවික හමුදාව විසින් දිවයින පුරා ස්ථාපිත කර ඇත. එමෙන්ම එම යන්ත්‍ර නොකඩවා ක්‍රියාකාරි තත්තවයේ පවත්වා ගනිමින් ජනතාව වෙත පිරිසිදු ජලය ලබා දීමට හැකි වීම නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශයේ කාර්යක්ෂමතාවය මනාව විදහා දක්වන කරුණකි.

එමෙන්ම අද (1) දින ජනතා අයිතියට පත් කෙරුණු මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයින්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය මත ඉදිකරන ලදී.