තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් බලපිටිය කොස්ගොඩ ගම්මානයේ සහ මුලතිව් පොලිස් ස්ථානයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් පෙරේදා (13) ජනතා අයිතියට පත් කෙරුණි.

මෙමගින් බලපිටිය කොස්ගොඩ ගම්මානයේ පවුල් 150 කට සහ මුලතිව් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 650 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව උදා වී ඇත. මෙම ජල පිරිපහදු යන්ත්‍ර ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකායේ සහ සිරස මාධ්‍ය ආයතනයේ ගම්මැද්ද ප්‍රජා සත්කාරය හරහා බ්‍රැන්ඩෙක්ස් ප්ලස් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ඉදිකර ඇත. වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල පවතින දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්‍ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව මේ වන විට මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 65 ක් වකුගඩු රෝග අර්බුදය බහුලව පවතින ප්‍රදේශයන්හි ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. මෙම වැඩසටහනට සමගාමිව, වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමද නාවික හමුදාව විසින් මේ දින වල සිදු කරමින් පවතී.