හම්බන්තොට වරායේ නෞකා මුදා ගැනිම සම්බන්ධව රජයෙන් නාවික හමුදාවට ප්‍රශංසා
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පෙරේදා (15) ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවු අතර, එහිදි හම්බන්තොට වරායේ නෞකා මුදා ගැනීමේ මෙහෙයුමට අදාල විශේෂ වාර්තාවක් අගමැතිතුමන් හට භාර දෙන ලදි.

හම්බන්තොට වරායේ සේවකයන් විසින් එහි නවතා තිබූ නෞකා බලෙන් රඳවා ගෙන තිබු අවස්‌ථාවේ ඒවා මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව ඉටුකිරීම සම්බන්ධව නාවික හමුදාධිපතිට සහ නාවික හමුදාවට රජය වෙනුවෙන් සිය ප්‍රශංසාව සහ විශේෂ ස්තූතිය පිරිනමන බව ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලදි.

මෙහිදි අදහස් දැක්වු අගමැතිතුමන් පවසා සිටියේ අදාළ නැව් සමාගම් දෙකේ නියෝජිතයින් තමන් අමතා අනතුරකට මුහුණ දි සිටින තම නෞකා දෙක ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටි බවය. මෙහිදි අතිගරු ජනාධිපති තුමන් සහ ගරු ආරක්‌ෂක ලේකම් තුමන් සමඟ සාකච්ඡා කිරිමෙන් අනතුරුව නෞකා මුදවා ගැනිමේ මෙහෙයුමට නාවික හමුදාව කැඳ වූ බව එතුමන් ප්‍රකාශ කරන ලදි . එම උපදෙස් මත ක්‍රියාත්මක වු නාවික හමුදාව වරායේ සේවකයන්ගේ දැඩි බාධා මධ්‍යයේ සාර්ථක ලෙස සිය මෙහෙයුම දියත් කිරිමෙන් අනතුරුව අදාළ ජාත්‍යන්තර නෞකා දෙක මුදා ගාන්නා ලදි.

ජාත්‍යන්තර නීති රීතින්ට අදාළව යම් රටක වරායන්ට පැමිණෙන නෞකාවන්ගේ ආරක්ෂාව සැපයිම එරට රජයේ වගකිමවේ. ඒ අනුව මෙම රාජකාරිය සඳහා නිසි බලය ඇති බලාධිකාරය වශයෙන් නාවික හමුදාව සම්බන්ධ කොට වරායේ ඇති වු හදිසි තත්ත්වය පාලනය කිරිමට කටයුතු කරන ලද බව අගමැතිතුමන් වැඩි දුරටත් දන්වා සිටියේය. තවද වරායකින් සහ ඉදිරියේ ස්ථාපිත කිරිමට නියමිත බලාගාරය හා ‍තෙල් පිරිපහදු සංකිර්ණය හේතුවෙන් නාවික හමුදාවේ දායකත්වය තවදුරටත් වැදගත් වන බව ද එතුමන් ප්‍රකාශ කරන ලදි.