තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් අඩු පිරිවැයක් දරමින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් පසුගිය දින කීහිපය තුළදී අනුරාධපුර, වව්නියාව සහ හලාවත යන ප්‍රදේශයන්හිදී ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අනුව, අනුරාධපුර පොලිස් ස්ථානය, හලාවත පොලිස් ස්ථානය, වව්නියාව කප්පච්චි ගම්මානය, වව්නියාව මහකච්චිකුඩිය පුරාණ ගල්ලෙන් විහාරය, පෙරියඋලුක්කුලම මාමඩුව රජමහා විහාරය සහ අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන යන ස්ථානයන්හිදී මෙම ජල පිරිපහදු යන්ත්‍ර විවෘත කරන ලදී.

අනුරාධපුර සහ හලාවත පොලිස් ස්ථානයන්හි ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර සඳහා පොලිස් මූලස්ථානය විසින්ද, කප්පච්චි ගම්මානය සඳහා සිරස මාධ්‍ය ආයතනයේ ගම්මැද්ද වැඩසටහන මගින්ද, මහකච්චිකුඩිය, පුරාණ ගල්ලෙන් විහාරය, පෙරිය උලුක්කුලම මාමඩුව රජමහා විහාරය සහ අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන යන විහාරස්ථානයන්හි ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍ර සඳහා බුද්ධ ශා‍සන අමාත්‍යංශය විසින් ද මූල්‍යමය දායකත්වය ලබා දීමට කටයුතු කර ඇත.

නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් අනුව 2015 දෙසැම්බර් මස 22 වන දින පූනෑව සහ කඩවත්රබෑව යන ගම්මානයන් මූලික කර ගනිමින් ආරම්භ කරන ලද මෙම ප්‍රජා සත්කරක වැඩසටහන මගින් මෙම වසර අවසානය වන විට ජල පිරිපහදු යන්ත්‍ර 50 ක් ස්ථාපිත කිරීම නාවික හමුදාධිපතිතුමාගේ අභිප්‍රාය විය. නමුත්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ දැඩි කැපවීම සහ කාර්යක්ෂම බව හේතුවෙන් මේ දක්වා දිවයිනේ වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශ රාශියක් ආවරණය වන පරිදි මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 71 ක් ස්ථාපනය කිරීමට නාවික හමුදාව සමත් වී ඇත. එම ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මගින් පවුල් 33,000 කට හා පාසැල් දරුවන් 25,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් සිටී. තවද, මෙම ප්‍රජා සත්කාරක සේවාව දිවයිනේ අනෙකුත් ආයතනයන් හා දෙපාර්තමේන්තු සඳහා මහත් ආදර්ශයක් බවට පත්ව ඇති අතර, නාවික හමුදාව විසින් දියත් කර ඇති මෙම සත්කාරක වැඩසටහන ඉදිරියේදී වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරිමේ කර්තව්‍ය උදෙසා මහත් රුකුලක් වනු ඇත.