නාවික හමුදාධිපතිතුමන් ‘ජපන්, ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාවට’ සහභාගී වෙයි
 

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්‍ෂක සහයෝගිතාවය සමාලෝචනය කිරීම සඳහා පැවැත් වූ ‘ජපන් ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාව’ අද (20) කොළඹ, ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විණි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ආරාධනයකට අනුව ජපාන ආරක්ෂක නියෝජිත පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර, එම කථිකාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ද එක්විය.

මෙම කථිකාවේදී ජපාන හා ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර ද්විපාර්ශ්වීය වශයෙන් ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැදගත් වන කරුණු රාශියක් සාකච්ඡා කරන ලදී. මෙය දෙරටෙහි අන්‍යෝන්‍ය සහයෝගිතාවය, ආරක්ෂාව හා සාගරික සමබන්ධතා සම්බන්ධයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කරන ලද ඉතා වැදගත් සාකච්ඡා මාලාවක් ලෙසද හදුන්වා දිය හැක.

මෙවර කථිකාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා, ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක, ලුතිනන් අට්සුබිරෝ මොරොරෙ මහතා, දෙරටේ ආරක්‍ෂක අමාත්‍යාංශයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.