හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකා 9 කට නාවික හමුදාවේ සහායේ
 

පසුගිය දෙසැම්බර් 10 වන දා සිට 20 වන දින දක්වා හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකාවන්ගේ මෙහෙයුම් කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා එහි ස්ථානගත කර සිටින නාවික පුද්ගලයන් විසින් මහත් සහයෝගයක් ලබා දෙමින් සිටී.

ඒ අනුව, වාහන ප්‍රවාහන නෞකාවක් වන “හයිපේරියන් හයිවේ” නෞකාව 10 වන දින උද්ඝෝෂකයන්ගෙන් මුදා ගැනීමේ සිට වරාය පරිශ්‍ර‍යේ සිදු කළ සියළුම මෙහෙයුම් කටයුතු සිදු කිරීම මගින්, නාවික හමුදාව සතු උසස් වෘත්තීමය හැකියාව සහ දැනුම විදහා දැක්වීමට හැකියාව ලැබුණි. එසේ සිදු කළ මෙහෙයුම් කටයුතු අතර, නෞකාවන් සුරක්ෂිතව ජැටියේ බැඳ රඳවා තබා ගැනීම, ටග් යාත්‍රා සහ නෞකා නියාමක ‍යාත්‍රා මෙහෙයවීම, නෞකාවන් මගින් වාහන ගොඩබෑම සහ ඒවාට භාණ්ඩ පැටවීම යන ප්‍රමුඛ කාර්යයන් නාවික හමුදාව විසින් සිදු කෙරිණි.

නාවික හමුදාව විසින් සහාය ලබා දුන් විදේශීය නෞකාවන් අතර හයිපේරියන් හයිවේ, හොයන්ගර්, ග්ලෝවීස් ෆීනික්ස්, වෑන්චෙරි, පර්ල් ඒස්, පැග්ලියා, මෝනිං ක්‍රිස්ටිනා, පොසිටිව් බ්‍රේව් සහ ඩෙල්ෆිනස් ලීඩර් යන නෞකාවන් වේ. මෙම නෞකා බොහෝමයක් ලොව ප්‍රමුඛ පෙළේ නෞකා සමාගම් වලට අයත් අති විශාල නෞකාවන් ලෙස හඳුන්වා දිය හැක.

“හයිපේරියන් හයිවේ” නෞකාව මුදා ගැනීමටත්, ඉන් අනතුරුව හම්බන්තොට වරායේ දෛනික මෙහෙයුම් කටයුතු ක්‍රමානුකූලව සිදු කර ගෙන යාමටත් නාවික හමුදාව ලබා දුන් දායකත්වය, ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර නෞකා සමාගම්වල විශ්වාසය නැවත තහවුරු කිරීමට සමත් වී ඇත.

හයිපේරියන් හයිවේ නෞකාව
හොයන්ගර් නෞකාව
ග්ලෝවීස් ෆීනික්ස් නෞකාව
වෑන්චෙරි නෞකාව
පර්ල් ඒස් නෞකාව
පැග්ලියා නෞකාව
මෝනිං ක්‍රිස්ටිනා නෞකාව
ඩෙල්ෆිනස් ලීඩර් නෞකාව
පොසිටිව් බ්‍රේව් නෞකාව