නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් සහ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (23) සමත් විය.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ඩිංගි යාත්‍රා 3 ක්, ඔක්සිජන් සිලින්ඩර් 10 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 4 ක්, මුහුණු ආවරණ 4 ක්, GPS යන්ත්‍ර 2 ක්, තහනම් දැලක් සහ අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 16 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, උතුරු මැද නාවික නාවික විධානයට අයත්, මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ඩිංගි යාත්‍රාවක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 5 ක්, මුහුණු ආවරණ 5 ක් සහ අල්ලන ලද මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 610 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.