තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් නිමාවට පත් විය. ඒ අනුව ගලේවෙල සිල්වත්ගම ජල පිරිපහදු යන්ත්‍ර 2 ක්, හොරොව්පොතාන දැකැතිපොතාන ගම්මානයේ සහ ත්‍රිකුණාමලය නාවික කෘෂි හා සත්ව ගොවිපොලේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍ර අද (27) ජනතා අයිතියට පත් කරන ලදි.

මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධක බලකායේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූල්‍ය අනුග්‍රහය මත නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්‍ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලදි. මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මගින් එම ප්‍රදේශයන්හි පවුල් 1300 කට පමණ පිරිසිදු පානිය ජලය ලබා දීමට හැකි වනු ඇත.

වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මේ දක්වා ජල පිරිපහදු යන්ත්‍ර 78 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 35,800 කට සහ පාසැල් දරුවන් 27,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇත. ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් සිටින අතර, මෙම ප්‍රජා සත්කාරක සේවාව දිවයිනේ අනෙකුත් ආයතනයන් හා දෙපාර්තමේන්තු සඳහා මහත් ආදර්ශයක් බවට පත් වී ඇත. නාවික හමුදාව විසින් දියත් කර ඇති මෙම සත්කාරක වැඩසටහන මඟින් ඉදිරියේදී වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරිමේ කර්තව්‍ය උදෙසා මහත් රුකුලක් වනු ඇත.