පදවිය ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් අද (2) නිමාවට පත් විය. ඒ අනුව පදවිය, මහසෙන් මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

මෙම ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය පින සංවිධානයේ (PINA Organization) මූල්‍ය අනුග්‍රහය මත නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්‍ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලදි. මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මගින් එම පාසලේ සිසු දරු දැරියන් 1000 කට සහ ගුරුවරුන් 60 දෙනෙකුට මෙන්ම ප්‍රදේශයේ පවුල් 1000 කට පමණ සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ඇත

වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මේ දක්වා ජල පිරිපහදු යන්ත්‍ර 83 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇති අතර, 2017 වර්ෂය වෙනුවෙන් ස්ථාපනය කළ පළමු ජල පිරිපහදු යන්ත්‍රය මෙය බවට සනිටුහන් වනු ඇත.  ඒ අනුව මේ දක්වා දිවයින පුරා ස්ථාපනය කර ලද ජල පිරිපහදු යන්ත්‍ර මගින් පවුල් 39,250 කට සහ පාසැල් දරුවන් 29,200 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් සිටී. තවද, මෙම ප්‍රජා සත්කාරක සේවාව දිවයිනේ අනෙකුත් ආයතනයන් හා දෙපාර්තමේන්තු සඳහා මහත් ආදර්ශයක් බවට පත්ව ඇති අතර, නාවික හමුදාව විසින් දියත් කර ඇති මෙම සත්කාරක වැඩසටහන ඉදිරියේදී වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරිමේ කර්තව්‍ය උදෙසා මහත් රුකුලක් වනු ඇත. 

මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, කතෝලික පූජකවරුන්, පින සංවිධානයේ සභාපති, ආචාර්යය අරුණ අබේගුණවර්ධන මහතා, එම සංවිධානයේ දේශීය සහ විදේශීය නියෝජිතයින්, ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ නියෝජිතයන්, පදවිය ප්‍රාදේශීය ලේකම් තුමන්, පාසල් දරු දැරියන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.