තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව පසුගිය දින කීපය තුළදී අනුරාධපුර ප්‍රදේශය ආවරණය වන පරිදි තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අනුව, අනුරාධපුරය ස්වර්ණපාලී බාලිකා ප්‍රාථිමික විද්‍යාලයේ සහ ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලයේ ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ස්ථාපනය කරන ලදී. එමගින් ප්‍රාථමික විද්‍යාලයේ සිසුවියන් 2500 කට හා ගුරුවරුන් 130 දෙනෙකුටත් බාලිකා මහා විද්‍යාලයේ සිසුවියන් 3000 කට හා ගුරුවරුන් 200 කටත් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකි වනු ඇත. මෙම ජල පිරිහදු යන්ත්‍ර සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශය විසින් සාදා නිම කර ඇත. මීට අමතරව, මහියංගනය වෙලම්පැල්ල මහා විද්‍යාලයේද එවැනි ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කරන ලදී. මෙමගින් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් 250, ගුරුවරුන් 50 කට හා ප්‍රදේශයේ පවුල් 750 කට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාව ලබා දී ඇත. මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය මගින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇති අතර, එය ස්ථාපනය කිරීම සඳහා සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශය විසින් සාදා නිම කෙරිණි.

තවද, අනුරාධපුරය නාවික මැදුරේ නිවාඩු ගත කිරීම සඳහා පැමිණෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ, ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ගේ සහ එහි රාජකාරී නියුතු නාවිකයන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සඳහා ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කරන ලදී. ඔයාමඩුව නාවික ස්ථානගත කිරීම්හි තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් සාදා නිම කළ අතර, එහි පිහිටා ඇති නිවාඩු නිකේතනය සඳහා පැමිණෙන නිලධාරීන්ගේ, ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ගේ, එහි රාජකාරී නියුතු නාවිකයන්ගේ සහ ප්‍රදේශයේ පවුල් 400 කගේ පමණ ජල අවශ්‍යතාවය එමගින් සපුරා ගැනීමට හැකියාව උදා වනු ඇත.

මෙම සමාජ සත්කාරක සේවාව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් කෙටි කාලයක් තුළදී අඩු පිරිවැයක් දරමින් සිදු කරනු ලබයි. එම මහගු කර්තව්‍යයේ ප්‍රථිපලයක් වශයෙන් වකුගඩු රෝගයට සීග්‍රයෙන් ගොදුරු වෙමින් සිටි ජනතාව මේ වන විට එම අවධානම් තත්ත්වයෙන් මිදෙමින් පවතී. තවද, මෙම සමාජ මෙහෙවර ජනතාව‍ගේ මහත් ප්‍රසාදයට පත්වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් සිය හෘදයාංගම ස්තුතිය නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන සමස්ථ නාවික හමුදාවට පිරිනමන ලදී.

මේ දක්වා මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 91 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 41,750 කට හා පාසැල් දරු දැරියන් 40,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇත. ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර රැසක් ස්ථාපනය කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් පවතින අතර, එය මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට මහත් රුකුලක් වනු ඇත.