ආපදා කළමණාකරණය යන තේමාව යටතේ සංවිධානය කළ දෙවන ‘Table Top’ අභ්‍යාසය උතුරු නාවික විධානයේ දී පැවැත්වේ
 

ආපදා කළමණාකරණය යන තේමාව යටතේ උතුරු නාවික විධානය විසින් සංවිධානය කළ දෙවන ‘Table Top’ අභ්‍යාසය පසු ගිය (5) දින කන්කසන්තුරේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ විධාන නිලධාරි නිවාසයේ දී, උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

පුරා දිනක් පැවති මෙම අභ්‍යාසය නාවික ස්ථානගත කිරීම වෙත්තලකේණි හී අණදෙන නිලධාරීතුමන්, උතුරු විධාන ගොඩබිම් මෙහෙයුම් නිලධාරි තුමන් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකායේ උතුරු කලාපය භාර අධ්‍යක්ෂ යන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද අතර, එය උතුරු ප්‍රදේශය භාර ආඥාපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කරන ලදි. මෙම අභ්‍යාසයේ ප්‍රධානතම අරමුණ වූයේ අදාළ විෂය සම්බන්ධයෙන් නිලධාරීන් සතු දැනුම වැඩි දියුණු කිරීමත් හදිසි ආපදා තත්ත්වයක දී එයට මුහුණ දීමට ඔවුන් වෘත්තීමය වශයෙන් සූදානම් කිරීමයි. ක්‍රියාකාරකම් මත පදනම් වූ අභ්‍යාසයන් ගෙන් සමන්විත මෙම වැඩසටහන සඳහා විවිධ ආයතන, යාත්‍රා නියෝජනය කරමින් පැමිණි අණදෙන නිලධාරීන් ඇතුළු තවත් නිලධාරීන් රාශියක් සහභාගි විය.

උතුරු නාවික විධානය භාර ආඥාපති තුමන් විසින් සිදු කරන ලද සවිස්ථරාත්මක ඉදිරිපත් කිරීමක් සමගින් මෙම අභ්‍යාසය ආරම්භ වූ අතර, එය එතුමන්ගේ දීර්ඝ කාලීන නාවික දිවිය තුළ එක්කර ගත් මෙවැනි අවස්ථා සම්බන්ධ අත්දැකීම් රාශියකින් සමන්විත විය. තවද ඉදිරියේ දී ඇති විය හැකි මෙවැනි හදිසි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට තරුණ නිලධාරින්ට අවශ්‍යය ශක්තිය සහ වෘත්තීමය හැකියාව අත්කර දීමට ද මෙම වැඩසටහන මහෝපකාරී විය. එමෙන්ම මෙහි දී එතුමන් විසින් ඉදිරිපත් කළ වටිනා තොරතුරු මෙම අභ්‍යාසය ඉහළ මට්ටමකින් සිදු කර ගෙන යාමට ඉවහල් විය.