නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 59 වන බදවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 28 දෙනෙකු හට සහ 2017 වර්ෂයේ පළමු ඉදුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් හා නිලධාරිනියන් 27 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (6) ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ ප්‍රධාන ජලමානක නිලධාරී සහ අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

ඒ අනුව, ශිෂ්‍යභට නිලධාරීන් විධායක, සැපයුම්, විනයාරක්ෂක, ඉංජිනේරු, විදුලි හා විද්‍යුත් හා නාවික සෙබළ යන අංශයන්ගෙන් ද, ඉදුරාම බඳවා ගත් නිලධාරීන්, ස්වේච්ඡා, සැපයුම්, වාදක සහ දන්ත වෛද්‍ය යන අංශයන්ගෙන් ද මෙසේ නාවික හමුදා සේවයට එක් විය. එහිදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා ප්‍රථමයෙන් නව ශිෂ්‍යභට නිලධාරීන්හට සිය සුභාසිංශන එක් කළ අතර, නාවික හමුදා නිලධාරීයෙකු වශයෙන් ඉදිරියේදී තම මාතෘභූමියට ඉටුවිය යුතු යුතුකම් මැනවින් සිදු කිරීමටත් නාවික හමුදාවේ කීර්තිනාමය මෙන්ම අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් ගෞරවාන්විත සේවයක් ඉටු කිරීමටත් අදිටන් කරගත යුතු බව ප්‍රකාශ කරන ලදී. එමෙන්ම විනයගරුක නාවික නිලධාරියෙකු වශයෙන් තමන්ට පැවරෙන රාජකාරීන් මැනවින් ඉටු කරමින් අනාගතයේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියෙක් දක්වා ඔවුන්ගේ නාවික ජීවිතය ඉදිරියට ගෙනයාමට උපදෙස් රැසක් ද එතුමා විසින් එහිදී ඔවුන් හට ලබා දෙන ලදී. තවද, තම මාතෘභූමියට සේවය කිරීම සඳහා සිය දරුවන් නාවික හමුදාවට භාර දීම සම්බන්ධයෙන් සමස්ථ නාවික හමුදාව වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කිරීමට ද එහිදී එතුමා කටයුතු කරන ලදී.

අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් මෙන්ම ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.