තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ සහ පදවිය ධීවර ගම්මානයේ ස්ථාපිත තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (12) ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අනුව, කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් පොලිස් නිලධාරීන් 60 කට සහ එම ප්‍රදේශයේ පවුල් 280 කට පමණ පිරිසිදු පානීය ජලය සපුරා ගැනිමට හැකියාව ලැබී ඇත. තවද, පදවිය ධීවර ගම්මානයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 200 කට පමණ සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාව ලබා දී ඇත. මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරිම සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය සහ ශ්‍රී ලංකා පොලිස් මුලස්ථානය සිය මූල්‍යමය දායකත්වය ලබා දෙන ලදි.

මෙම සමාජ සත්කාරක සේවාව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් කෙටි කාලයක් තුළදී අඩු පිරිවැයක් දරමින් සිදු කරනු ලබයි. මේ දක්වා මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 98 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 45,610 කට හා පාසැල් දරු දැරියන් 40,350 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇත. ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර රැසක් ස්ථාපනය කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් පවතින අතර, එය මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට මහත් රුකුලක් වනු ඇත.