නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) මීගමුව මුහුදු ප්‍රදේශයේ දී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 2ක් සහ තහනම් දැල් 2ක්ද අත්අඩංගුවට පත්වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මීගමුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එදිනම වයඹ නාවික විධානයට අයත්, පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට‍ අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිනනකරුක්කපොනේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ කැස්බෑ මස් කිලෝග්‍රෑම් 20ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයා සහ මස් තොගය ඉදිරි කටයුතු සඳහා මහවැව සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.