100 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උදාරතර සංකල්පයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ නායකත්වය යටතේ සමාජිය ගැටළු සඳහා විසදුම් සෙවිම ඉලක්ක කර‍ ගත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලදි.

එහි පළමු පියවර වශයෙන් 2015 දෙසැම්බර් මස 22 වන දින පූනෑව සහ කඩවත්රබෑව යන ගම්මානයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් අඩු පිරිවැයකින් නිපදවා ස්ථාපනය කිරීම සිදු කෙරිණි. එම කර්තව්‍යත් සමග ආරම්භ කෙරුණු මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන මගින් අද (14) දින යාපනය පොලිස් ස්ථානයේදී 99 වන ජල පිරිපහදු යන්ත්‍රය ද, පදවිය ප්‍රදේශයේ ඌරෑව ගම්මානයේදී 100 වන ජල පිරිපහදු යන්ත්‍රය ද ජනතා අයිතියට පත් කෙරිණි. ඒ අනුව, ඌරෑව ගම්මානයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 60 කට සහ යාපනය පොලිස් ස්ථානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් පොලිස් නිලධාරීන් 400 දෙනෙකුට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අවස්ථාව උදා කර දී ඇති අතර, මෙම ජල පිරිපහදු යන්ත්‍ර සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය සහ පොලිස් මූලස්ථානය විසින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.

ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර නිපැයුම්කරුවන් අතරින් ‍කිසිදු ආයතනයක් මේ දක්වා ජල පිරිපහදු යන්ත්‍ර 100 ක් නිෂ්පාදනය කිරීමට සමත් වී ‍නොමැත. නමුත්, ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් අවම පිරිවැයක් දරමින් ඉතා කෙටි කාලයක් තුළදී එම කඩ ඉම පසු කිරීමට සමත් වී ඇත. මෙය දිවයිනේ ක්‍රියාත්මක වන සමාජ සත්කාරක සේවාවන් අතර දැවැන්ත සමාජ මෙහෙවරක් වශයෙන් ඉතිහාසයට එක් වනු ඇත.

නාවික හමුදාධිපතිතුමාගේ මෙම උදාරතර සංකල්පය අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ දැඩි කැපවීම සහ කාර්යක්ෂම බව හේතුවෙන් මේ දක්වා දිවයිනේ වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශ රාශියක් ආවරණය වන පරිදි මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ඇත. මේ වන විට එම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මගින් පවුල් 46,070 කට හා පාසැල් දරුවන් 40,350 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය නොමිලේ ලබාදීමට නාවික හමුදාව කටයුතු කර ඇත. මෙම ජල පිරිහදු යන්ත්‍ර නිපදවිම සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන එක් නාවික පුද්ගලයෙකුගේ මාසික වේතනයෙන් සිය කැමැත්ත මත රු.75 ක මුදලක් නාවික සමාජිය මෙහෙවර අරමුදල වෙත බැර කිරිම මගින් ලබා ගනු ලබයි. තවද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වෙතින් ලබාදෙනු ලබන මූල්‍යමය ප්‍රතිපාදන මත ස්ථාපිත කරනු ලබයි. මෙය මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා අනාගතයේදී මහත් අස්වැසිල්ලක් වනු ඇති අතර, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර රැසක් වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානම් සහිත ප්‍රදේශයන්හි ස්ථාපනය කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් පවතී. එමෙන්ම මෙම කර්තව්‍ය රජයේ වකුගඩු රෝග නිවාරණ වැඩ සටහනේ ජාතික මෙහෙවරක් බවටද පත් වී ඇත.