තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව තලාව, කටියාව යාය 1 ගම්මානයේ, පොල්පිතිගම, ගල්හිටියාගම ගම්මානයේ සහ පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා නාවික කදවුරේ ස්ථාපිත තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් අද (20) විවෘත කෙරිණි.

ඒ අනුව,කටියාව යාය 1 ගම්මානයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 325 කට පමණ පිරිසිදු පානීය ජලය සපුරා ගැනිමට හැකියාව ලැබී ඇත. එමෙන්ම, ගල්හිටියාගම ගම්මානයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 720 කට පමණ සහ ශික්ෂා නාවික කදවුරේ නාවික පුද්ගලයන් 1076 කට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාව ලබා දී ඇත. තලාව සහ පොල්පිතිගම යන ප්‍රදේශයන්හි ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය විසින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.

මෙම සමාජ සත්කාරක සේවාව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් කෙටි කාලයක් තුළදී අඩු පිරිවැයක් දරමින් සිදු කරනු ලබයි. මේ දක්වා මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 105 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 47,855 කට හා පාසැල් දරු දැරියන් 40,600 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇත. ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර රැසක් ස්ථාපනය කිරීමට නාවික හමුදාව ‍කටයුතු කරමින් පවතින අතර, එය මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට මහත් රුකුලක් වනු ඇත.