ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හඳුන්වා දිය හැක.

වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් එම රෝගය දිවයිනෙන් තුරන් කරලීම උදෙසා පෙරමුණ ගනිමින් නාවික හමුදාව මෙම කර්තව්‍යයේ නියැලී සිටී. එහි තවත් ප්‍රථිපලයක් ලෙස පදවිය ඇලකිම්බුලාව චේතියගිරි රජමහා විහාරස්ථානය, වව්නියාව, මඩුකන්ද ගම්මානය, පොල්පිතිගම තලාව, පල්ලෙකැලේ සහ පොතුවිල යන ගම්මානයන්හි ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් අද (23) ජනතා අයිතියට පත් කෙරිණි.

තලාව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 450 කට, මඩුකන්ද ගම්මානයේ ස්ථාපිත ජල පිරිහදු යන්ත්‍රය මගින් පවුල් 400 කට, චේතියගිරි රජමහා විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශයේ පවුල් 350 කට, පල්ලෙකැලේ ගම්මානයේ පවුල් 600 කට සහ පොතුවිල ගම්මානයේ පවුල් 680 කට පමණ පිරිසිදු පානීය ජලය සපුරා ගැනිමට හැකියාව ලැබී ඇත. චේතියගිරි රජමහා විහාරස්ථානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇති අතර, අනෙකුත් ගම්මාන 4 හි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය විසින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.

මෙම සමාජ සත්කාරක සේවාව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් කෙටි කාලයක් තුළදී අඩු පිරිවැයක් දරමින් සිදු කරනු ලබයි. මේ දක්වා මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 112 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 50,455 කට හා පාසැල් දරු දැරියන් 40,600 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය නොමිලේ ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර රැසක් ස්ථාපනය කිරීමට ‍කටයුතු කරමින් පවතින අතර, එය ඉදිරියේදී මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට මහත් රුකුලක් වනු ඇත.