ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ. ඒ අනුව, රාජාංගනය යාය 15 සහ යාය 16 යන ගම්මානයන්හි ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (26) ජනතා අයිතියට පත් කෙරිණි.

එම ජල පිරිපහදු යන්ත්‍ර මගින් යාය 15 ගම්මානයේ පවුල් 600 ක් සහ යාය 16 ගම්මානයේ පවුල් 475 ක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකියාව ලැබී ඇත. එම යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය මගින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇති අතර, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඒවා නිපදවා ඇත. මේ දක්වා මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 115 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 51,530 කට හා පාසැල් දරු දැරියන් 43,850 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කරන ලදී. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර තව දුරටත් ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් පවතී.