නාවික හමුදාධිපතිතුමන් ඉන්දියාවේ සංවාරයක
 
 

නාවික සහයෝගිතාව පිළිබඳ නව මංපෙත් විවර කර ගැනීමේ අරමුණින් ඉන්දියානු නාවික හමුදාවේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 2017 ජනවාරි 29 දින ඉන්දියාව බලා පිටත් විය. එතුමන් පෙබරවාරි මස 2 වන දින දක්වා එහි රැඳී සිටිනු ඇත. නාවික හමුදාධිපතිතුමන්ගේ සංචාරය අතරතුර දී ඉන්දියානු හමුදා ප්‍රධානීන්, ඉන්දියානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත් වූ අතර, එමගින් නාවික සහයෝගීතාවය ගොඩනැගීම හරහා නව මංපෙත් විවර කර ගැනීමට අපේක්ෂා කෙරේ.එමෙන්ම නාවික හමුදාධිපති තුමන් ඉන්දිය රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යතුමන් මෙන්ම ඉන්දියානු ආරක්ෂක ලේකම් තුමන්ද පසු ගිය 30 දින හමුවිය.

පසුගිය ජනවාරි 30 වන දින වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඉන්දියානු නාවික හමුදාධිපති අද්මිරාල් සුනිල් ලම්බා මහතා ඇතුළු ඉන්දියානු නාවික හමුදා ප්‍රධානීන් පිරිසක් හමු විය. මීට අමතරව ඉන්දියානු යුධ සහ ගුවන් හමුදා ප්‍රධානීන් මෙන්ම ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සමඟ සාකච්ඡා කිරීමට ද එතුමන් අපේක්ෂා කෙරේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ නාවික සහයෝගීතාවය ‍ඵෛතිහාසික වශයෙන් ඉතා ශක්තිමත් වන අතර, ද්වීපාර්ශ්වික වශයෙන් පෞඩ වූ සාගරික හා මෙහෙයුම් අභියෝගයන් ගෙන් ද මෙම සාගර කලාපය සමන්විත වේ. එබැවින් ද්වීපාර්ශ්වික ක්‍රියාකාරකම්, පුහුණුව, නෞකා සංචාර, ජලමාන විද්‍යා සහයෝගිතාව, විශේෂ බලකායන් අතර පවතින සබඳතා සහයෝගීතාවය වර්ධනය වැනි ක්‍රියාකාරකම් තුළින් දෙපාර්ශ්වය අතර සබඳතා සහ සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීම අරමුණ වේ. මේ අතර ගෝවා නැව් තටාකාංගණයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අධිතාක්ෂණික නෞකාවන් දෙකක් ද නිර්මාණය කරමින් පවති.

තවද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික යුද පුහුණු පාසල් සහ ගෝවා නැව් තටාකාංගණයේ සංචාරය කිරීමට නියමිත අතර, ගෝවා ප්‍රදේශ භාර ධජ නිලධාරිතුමන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. එමෙන්ම නාවික හමුදාධිපතිතුමන් කොචින් පිහිටි ඉන්දියානු නාවික පුහුණු විධානය සහ විවිධ පුහුණු පාසල් සහ පහසුකම් නිරීක්ෂණය කිරීමට ද නියමිත අතර එහිදී අදාළ ක්‍රීයාකාරකම් පිළිබඳව එතුමන් දැනුවත් කිරීමට ද නියමිතය. මීට අමතරව කොචින් නාවික කඳවුරේහි පුහුණුව ලබන ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් සමඟ සුහද කතා බහක නිරත වීමට ද නාවික හමුදාධිපතිතුමන් බලාපොරොත්තු වේ.

පසුගිය වසරේ පැවති 7 වන ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණයට සමගාමීව ඉන්දියානු නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී කරන ලද ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමන් මෙම නිළ සංචාරය සිදු කරන ලදි.