නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ධීවර කටයුතු වල නිරත ලාංකික පුද්ගලයන් 2 දෙ‍නෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (29) නාවික හමුදාව සමත් වී ඇත. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත්, වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට ලැබුනු බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන්, මඩකළපුව පොලීසියේ නිලධාරීන් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් මඩකලපුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ටෙට්ටත්තිව් මුහුදු ප්‍රදේශයේදී ධීවරයින්ගේ දැල් සහ මසුන් ‍සොරකම් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ඩිංගි යාත්‍රාවක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 85 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයා සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා කලවන්චිකුඩි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එදිනම, උතුරු නාවික විධානයට අයත් මාදගල් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මාර්සන්කුඩාල් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැලක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.