ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ. ඒ අනුව, අනුරාධපුර, හොරොව්පතාන ස්වර්ණතිලකාරාම විහාරස්ථානයේ සහ කැබිතිගොල්ලෑව, රතිමල්ගහවැව හඳගල රජමහා විහාරයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (30) ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අනුව ස්වර්ණතිලකාරාම විහාරස්ථානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 360 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබී ඇති අතර, හඳගල රජමහා විහාරස්ථානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් ප්‍රදේශයේ පවුල් 480 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. මේ සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් මූල්‍යමය දායකත්වය ලබා දී තිබිණි.

මෙම ජල පිරිපහදු යන්ත්‍ර නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කර ඇත. මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 119 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 53,650 කට හා පාසැල් දරු දැරියන් 45,100 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.