ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ. ඒ අනුව, කැබිතිගොල්ලෑව ඊතල්විද්දවැව පුරාණ විහාරස්ථානය, හොරොව්පොතාන පුහුලේවැව රළපනාව ශ්‍රී සුජාතාරාම විහාරය, අනුරාධපුර ගල්නෑව ඔත්තාපහුව ගම්මානය සහ පොල්පිතිගම සේරුගස්යාය ගම්මානයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් අද (1) ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අනුව ඊතල්විද්දවැව පුරාණ විහාරස්ථානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 180 කට, පුහුලේවැව රළපනාව ශ්‍රී සුජාතාරාම විහාරයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් පවුල් 220 කට,  ගල්නෑව ඔත්තාපහුව ගම්මානයේ සහ පොල්පිතිගම සේරුගස්යාය ගම්මානවල ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍ර මගින් පවුල් 610 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබිණි. මේ සඳහා මූල්‍යමය දායකත්වය බුද්ධශාසන ආමාත්‍යාංශය සහ ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය වෙතින් ලබා දෙන ලදි.

මෙම ජල පිරිපහදු යන්ත්‍ර නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලදී. මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 123 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 54,660 කට හා පාසැල් දරු දැරියන් 45,100 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.