නාවික හමුදාධිපතිතුමන් ඉන්දියාවේ කොචින්හි පිහිටි දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වේ
 

සිය පස් දින නිළ සංචාරය නිමා කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (2) කොචින්හි පිහිටි දකුණු නාවික විධානයේ නිළ සංචාරයක නිරත වන ලදි.

මෙම සංචාරය අතරතුරදී දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී වයිස් අද්මිරාල් ඒආර් කාර්වී මහතා සහ දකුණු නාවික විධානයේ ධජ නිලධාරී සාගරික පුහුණු රියර් අද්මිරාල් එම්ඒ හම්බිහෝලි යන මහත්වරුන් හමුවීමට ද නාවික හමුදාධිපතිතුමන් හට අවස්ථාව උදා විය.

නාවික හමුදාධිපතිතුමන් රියර් අද්මිරාල් එම්ඒ හම්බිහෝලි මහතා සමග සුහද සාකච්ඡාවක් පැවැත් වු අතර, එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකා නාවික හමුදාව වර්ථමානයේ වේග ප්‍රහාරක යාත්‍රා මෙහෙයුම් වලින් නිරීක්ෂණ මුර යාත්‍රා වලට පරිවර්තනය වෙමින් සිටින බවය. එබැවින් ඒ සඳහා අවශ්‍ය නිරන්තර පුහුණුව ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ට සහ නාවිකයන්ට නිරන්තරයෙන් ලබා දෙන මෙන් ඉල්ලා සිටින බවය.

තවද මෙම සංචාරය අතරතුරදී නාවික හමුදාධිපතිතුමන් කොචින්හි පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් විධානය සහ දිය යට සංග්‍රාමික පුහුණු පාසල ද නිරීක්ෂණය කරන ලදි.

එහිදී එම පාසලේ පුහුණුව ලබන ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසක් සමග සුහද කථාබහක නිරත වීමට නාවික හමුදාධිපතිතුමන් කටයුතු කරන ලදි.

දින පහක නිළ සංචාරය අවසන් කරමින් නාවික හමුදාධිපතිතුමන් අද (2) සන්ද්‍යාවේ ශ්‍රී ලංකාව බලා නැවත පැමිණෙන ලදි.