ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර,ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ. ඒ අනුව,තඹුත්තේගම දෙල්නේගම ගම්මානයේ සහ කැකිරාව මොරගොල්ලාගම රජමහ විහාරයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (5) ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අනුව තඹුත්තේගම දෙල්නේගම ගම්මානයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැතජල පිරිපහදු යන්ත්‍රය මඟින් පවුල් 400කට සහ කැකිරාව මොරගොල්ලාගම රජමහ විහාරයේ ඉදිකල පිරිපහදු යන්ත්‍රය මඟින් එම ප්‍රදේශයේ පවුල් 350 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබිණි. මේ සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය මගින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.

මෙම ජල පිරිපහදු යන්ත්‍ර නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සියදැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලදී. මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 126 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 55,410කට හා පාසැල් දරු දැරියන් 45,100 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කර ඇත.තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.