යාපනය අර්ද්වීපයේ අනලතිව් දූපතෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායන 2ක්
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (5) යාපනය අර්ද්වීපයේ, අනලතිව් දූපතේ පිහිටි සිද්ධා බෙහෙත් ශාලාවෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත් වන ලදි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ අනුග්‍රහය මත එම වෛද්‍ය සායනය  ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.

යාපනය අර්ද්වීපයේ මණ්ඩතිව් සහ අනලතිව් දූපත්වල නැවත පදිංචි කළ සිවිල් පුද්ගලයින් 404 කට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය. මෙම දූපත් ආශ්‍රිත ජීවත් වන සිවිල් පුද්ගලයින් ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවනු වස් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන සේවය ඔවුන්ගේ පැසසුමට ලක් විය.

අනලතිව් දූපතේ පිහිටි ශාන්ත පීතර් කතෝලික පල්ලියේ ද පසුගිය ජනවාරි මස 22 වන දින ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්  පවත් වන ලදි. ඒ අනුව මෙම වැඩසටහන් මගින් බරපතල රෝගාබාධ, බරපතල සහ නිදන්ගත රෝග, නව යොවුන් වියේ සහ වැඩිහිටි වයසේ පසුවන පුද්ගලයින්ගේ සෞඛ්‍ය ගැටළු,  ළමා සහ ගර්භනී මාතාවන්ගේ සෞඛ්‍ය ගැටළු සහ  කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටළු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් ගෙන් ප්‍රථිකාර ලබා ගැනීමට හැකියාව උදා විය. එම පරීක්ෂාවන් වලදී විශේෂඥ වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට අවශ්‍ය රෝගීන් යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට ද එහිදී කටයුතු කෙරිණි. තවද මූලික රසායනාගාර පරීක්ෂණ මගින් නිදන්ගත මෙන්ම බෝ නොවන රෝගී තත්ත්වයන් එහි මුලික අවස්ථාවේදීම හඳුනාගෙන ඒවා සඳහා ප්‍රථිකාර ලබා දී ඔවුන් සුරක්ෂිත කිරීමටද එම වෛද්‍ය සායනය මගින් හැකියාව ලැබිණි.  මෙම ක්ෂේත්‍ර වෛද්‍ය සායන සඳහා අනලතිව් දිසා රෝහලේ වෛද්‍ය කේ. මහේෂ්වරී මහත්මියගේ සහයෝගය ද ලැබුනු අතර, අවශ්‍ය ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ හේමාස් ඖෂධ හා  සීඑල්සී ඖෂධ සමාගම යන ආයතන විසින් නොමිලේ ලබා දෙන ලදි.