මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් මැදිරිගිරිය ප්‍රදේශයේ දම්සෝපුර සහ බිසෝඋයන යන ගම්මානවල ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (6) ජනතා අයිතියට පත් කෙරිණි.

මෙමගින් දම්සෝපුර ප්‍රදේශයේ පවුල් 425 කට සහ බිසෝඋයන ප්‍රදේශයේ පවුල් 295 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව උදා වී ඇත. මෙම ජල පිරිපහදු යන්ත්‍ර ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකායේ මූල්‍ය අනුග්‍රහය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ඉදිකර ඇත. නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයින්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් එම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකරන ලදී.

වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල පවතින දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්‍ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට කටයුතු කරනු ලබයි. මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 128 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 56,130 කට හා පාසැල් දරු දැරියන් 45,100 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කර ඇත.තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.