ස්වේච්ඡා නාවික හමුදාවේ නව අණදෙන නිලධාරී වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ඩබ්එම්ජේබී විජේකෝන් මහතා අද (11) වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ පිහිටි ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

මින් පෙර එහි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කළ කොමදෝරු ටයිටස් කන්නංගර මහතා  2016 මාර්තු මස 2 වන දින සිට ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී කටයුතු කර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙන් නව තනතුර සඳහා කපිතාන් විජේකොන් මහතා පත් කරන ලදී.

කපිතාන් ඩබ්එම්ජේබී විජේකෝන් මහතා 1989 වර්ෂයේ නොවැම්බර් මස 1 වන දින ස්වේඡා නාවික හමුදාවේ වැඩ බලන උප ලුතිනන් වරයෙකු ‍ලෙස නාවික හමුදාවට එක් වී ඇති අතර, ක්‍රමානුකූලව සිය උසස්වීම් ලද හෙතෙම 2016 ජනවාරි මස 1 වන දින කපිතාන් නිලයට උසස් කරන ලදී. සිය වෘත්තීය ජීවිතයේ, ජාතික විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරයෙකු වන ඔහු, බෝලවලාන රජයේ ගුරු විද්‍යාලයෙන් ඉංග්‍රීසි පිළිබඳ පුහුණු ගුරු සහතිකය ලබා ඇත. තවද, පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ප්‍රථම උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද, උතුරු අයර්ලන්තයේ අල්ස්ටර් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හිමි කර ගෙන ඇති හෙතෙම මෙම තනතුරට පත්වීමට පෙර ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ  අධ්‍යක්ෂ (අධ්‍යන) වශයෙන් රාජකාරී කරන ලදී.